තමන්ගේ කකුලවත් පේන්නේ නැති, අහසින් කුරුල්ලෝ බිමට වැටෙන, කැලේ ඉන්න සත්තු පවා හුස්මගන්න බැරුව මැරිලා යන තරමේ විෂ මීදුමකින් මුළු නගරයක්ම වැහිලා ගියොත් කොහොමද? 1952 දෙසැම්බර් මාසයේ එංගලන්තයේ ලන්ඩන් නුවරට මේ බියකරු අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ අවාසනාවන්ත සිදුවීම ඉතිහාසයේ හැඳින්වෙන්නේ “The Great Smog of London” කියලයි.
අධික ශීතල සහ කිසිම සුළඟක් නැති කාලගුණය නිසා, නගරයේ කර්මාන්තශාලාවලින් සහ ගෙවල්වලින් පිටවුණු ගල් අඟුරු දුම සහ විෂ රසායනික වායු අහසට යන්නේ නැතිව නගරය පුරාම එකතු වුණා. මේ නිසා කුණු බිත්තර ගඳින් යුත්, ඝන කහ පාට මීදුමකින් මුළු නගරයම වැහී ගියා. මීටර් කිහිපයකට වඩා කිසිම දෙයක් පෙනුණේ නැති නිසා මුළු නගරයම සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වුණා. මේ මීදුම අස්සේ අද්භූත සත්වයින් (monsters) හිටියා කියලා සමහරු කටකතා හැදුවත්, ඇත්තම කතාව වුණේ මේ විෂ මීදුමම දරුණු යක්ෂයෙක් වුණු එකයි.
දවස් 5ක් පුරාවට පැවතුණු මේ විෂ වායුව ආශ්වාස කිරීම නිසා රෝහල් ලෙඩුන්ගෙන් පිරී ගියා. පරීක්ෂණවලින් තහවුරු වුණු විදිහට මේ දවස් 5 ඇතුළත මිනිසුන් 10,000ත් 12,000ත් අතර ප්‍රමාණයක් හුස්ම ගැනීමේ අපහසුතා නිසා අවාසනාවන්ත විදිහට මියගියා. ඒ වගේම ලක්ෂයකට වඩා පිරිසක් දැඩි සේ රෝගාතුර වුණා. මේ බියකරු ඛේදවාචකය නිසා මුළු ලෝකයේම අවධානය වායු දූෂණය ගැන යොමු වුණු අතර, 1956 දී ඓතිහාසික “පිරිසිදු වායු පනත” (Clean Air Act) ගෙන එන්නත් මෙය ප්‍රධාන හේතුවක් වුණා.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


