දශක ගණනාවක සිට නීතියෙන් ආරක්ෂා කරලා තිබුණත්, බ්‍රිතාන්‍යයේ ජීවත් වෙන රාජාලියන් සහ උකුස්සන් වගේ මාංශභක්ෂක කුරුල්ලන්ට තවමත් අමානුෂික හිංසනයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. RSPB (රාජකීය පක්ෂි ආරක්ෂණ සංගමය) විසින් නිකුත් කරපු අලුත්ම වාර්තාවකට අනුව, 2015 ඉඳන් 2024 දක්වා කාලය ඇතුළත මේ කුරුල්ලන්ට එල්ල වුණු ප්‍රහාර 921ක් නිල වශයෙන් තහවුරු කරගෙන තියෙනවා. රන් රාජාලියන් (golden eagles), රතු සරටයන් (red kites) සහ පෙරෙග්රින් උකුස්සන් (peregrine falcons) වගේ දුර්ලභ කුරුල්ලන්ව වෙඩි තියලා, උගුල් අටවලා වගේම වස දීලත් මරා දාලා තියෙනවා. මේ වස කොතරම් භයානකද කිව්වොත්, ඒවායින් සාමාන්‍ය සුරතල් සතුන්ට සහ මිනිස්සුන්ට පවා ලොකු අනතුරක් වෙන්න පුළුවන්.
මේ වාර්තාවේ තියෙන කනගාටුදායකම කාරණය තමයි මේ අපරාධ වැඩිපුරම සිද්ධ වෙන්නේ කොහෙද කියන එක. මේ සිදුවීම්වලින් අඩකටත් වඩා වාර්තා වෙන්නේ විනෝදයට දඩයම් කරන කුරුල්ලන්ව (gamebirds) බෝ කරන ප්‍රදේශවලින්. මේ දඩයම් භූමිවල ඉන්න අය හිතන්නේ මේ මාංශභක්ෂක කුරුල්ලන් තමන්ගේ දඩයම් ව්‍යාපාරයට තර්ජනයක් කියලයි. ඒ නිසා ඔවුන් මේ අහිංසක සතුන්ව දිගින් දිගටම මරා දමනවා. විමර්ශන නිලධාරීන් පෙන්වා දෙන විදිහට, නිල වශයෙන් වාර්තා වුණු 921ට අමතරව තවත් දහස් ගණනක් කුරුල්ලන් කැලෑ ඇතුළේ කිසිවෙකුටත් හොර රහසේ ඝාතනයට ලක්වෙලා තියෙන්න පුළුවන්.
මේ ජාතික අපරාධය නවත්වන්න නම් වහාම දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා. ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ මේ දඩයම් භූමි සඳහා දැඩි බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීලා පවතින නීති තවත් දැඩි කරන්න කියලයි. එහෙම නොවුණොත්, මේ අමානුෂික ඝාතන නිසා දැනටමත් වඳවී යාමේ තර්ජනයට ලක්වෙලා ඉන්න අහිංසක කුරුළු විශේෂ රැසක් මේ ලෝකයෙන් සදහටම සමුගන්න ඉඩ තියෙනවා.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


