in

මී මැස්සොයි නිදාගන්න කැමති මල් ඇතුළේ.

ඔයාලා කවදා හරි දැකලා තියෙනවද මලක් ඇතුළේ කිසිම හෙලවීමක් නැතුව ඉන්න මී මැස්සෙක්ව? එතකොට අපිට හිතෙන්න පුළුවන් ඌ මැරිලද කියලා. හැබැයි ඇත්තටම ඌ ඒ කරන්නේ පොඩි නින්දක් දාන එක. දවස පුරාම මල්වලින් පැණියි පරාගයි එකතු කරලා මහන්සි වුණාම, මේ මී මැස්සොත් ඇඟට පොඩි විවේකයක් ගන්න මලක් ඇතුළට වෙලා නිදාගන්නවා. ඒක හරිම හුරුබුහුටි දර්ශනයක්.

හැබැයි හැම මී මැස්සම මල් ඇතුළේ නිදාගන්නේ නැහැ. අපේ ගෙවල්වල වගේ රංචු විදිහට ඉන්න මී මැස්සෝ (Honey bees) හවස් වෙද්දී තමන්ගේ මී වදයටම යනවා නිදාගන්න. උන්ගේ නින්ද අපේ වගේ නෙවෙයි. මී මැස්සන්ට ඇසිපිය නැති නිසා උන්ට ඇස් පියාගන්න බැහැ. ඒ වෙනුවට උන් මී වදය උඩම නිදාගන්නවා. එතකොට උන්ගේ ඇන්ටනා හෙලවෙන්නේ නැහැ, මුළු ඇඟම ලිහිල් වෙනවා. සමහර වෙලාවට උන්ට කොච්චර තදට නිදි මත එනවද කියනවා නම්, නිදාගෙන ඉද්දි පැත්තකට ඇලවෙනවලු. එතකොට අනිත් මී මැස්සෝ උන් වැටෙන්නේ නැති වෙන්න කකුල්වලින් අල්ලගෙන ඉන්නවා.

හැබැයි තනියම ජීවත් වෙන මී මැස්සොයි, පිරිමි මී මැස්සොයි නිදාගන්න කැමති මල් ඇතුළේ. උන් මල් පෙති අස්සේ ගුලි වෙලා, මලේ මැද හරිය බදාගෙන හොඳට නිදාගන්නවා. එක ඡායාරූප ශිල්පියෙක් ලස්සන දර්ශනයක් දැකලා තිබුණා. මී මැස්සෝ දෙන්නෙක් එකම මලක් ඇතුළේ තුරුළු වෙලා නිදාගෙන ඉන්නවා. තව මී මැස්සෝ පස්සේ ඇවිත් ඉඩ මදි වුණාම, කලින් හිටපු උන් ටිකක් එහාට වෙලා අලුතෙන් ආපු කෙනාටත් ඉඩ දීලා තියෙනවා.

ගොඩක් වෙලාවට මේ විදිහට එළියේ මල් අස්සේ නිදාගන්නේ පිරිමි මී මැස්සෝ. මොකද කාලයක් ගියාම ගෑනු මී මැස්සෝ මේ පිරිමි මී මැස්සන්ව වදයෙන් එළියට පන්නනවා. එතකොට උන්ට වදේ ඇතුළේ ඉඩක් නැහැ.

මී මැස්සන්ටත් නින්ද කියන්නේ අනිවාර්ය දෙයක්. පැණි හොයන්න යන වයසක මී මැස්සන්ට හොඳට නින්ද ඕනේ, හොඳම මල් තියෙන්නේ කොහේද කියලා මතක තියාගන්න. ඒ මතකය මාර වටිනවා, මොකද උන් අනිත් මී මැස්සන්ට ඒ මල් තියෙන තැන කියලා දෙන්නේ උන්ගේ විශේෂ “නැටුමකින්” (Waggle dance). හරියට නිදාගත්තේ නැති වුණොත් මේ මී මැස්සන්ට ඒ නැටුම හරියට දාන්න බැහැ. එතකොට මුළු මී වදේටම කෑම හොයාගන්න එක ප්‍රශ්නයක් වෙනවා.

උපුටා ගැනීම : Chaminda Lakmal Kalubovila

What do you think?

Written by Mic

මිලාන් විශ්වවිද්‍යාලයේ (University of Milan),