Yellow River! ![]()
ලෝකයේ බිහිසුණුම ස්වභාවික ව්‍යසනයන් ගැන කතා කරද්දී භූමිකම්පා, සුනාමි වගේ දේවල් අපිට මතක් වුණත්, මුළු ලෝක ඉතිහාසයේම දරුණුම සහ මාරාන්තිකම ගංවතුර තත්ත්වයන් ඇති කරපු ප්‍රධානම වගකිවයුත්තා වෙන්නේ එකම එක ගඟක්.
ඒ තමයි චීනයේ පිහිටි Huang He එහෙමත් නැත්නම් “Yellow River” (කහ ගඟ).
චීන ජාතිකයෝ මේ ගඟට කියන තවත් නමක් තියෙනවා ඒ තමයි “The Sorrow of China” (චීනයේ ශෝකය)! සොබාදහමේ අතිශය විනාශකාරී බලවේගයක් වුණු මේ ගඟේ සැඟවුණු බිහිසුණු තොරතුරු අපි අද දැනගමු.
ආරම්භය සහ අවසානය
මේ දැවැන්ත ගංගාව ආරම්භ වෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 4,500කට වඩා ඉහළින් පිහිටි බටහිර චීනයේ බායන් හර් කඳු වැටියෙන් (Bayan Har Mountains). එතැන් සිට චීනයේ ප්‍රාන්ත 9ක් පුරා වංගු ගසමින්, කිලෝමීටර් 5,464ක අතිවිශාල දුරක් ගෙවා දමා අවසානයේ බොහායි මුහුදට (Bohai Sea) මේ ගංගාව ගලා බසිනවා. (මෙය චීනයේ දෙවැනියට දිගම ගඟයි).
ගැඹුර සහ උපරිම පළල
ගැඹුර: කහ ගඟේ සාමාන්‍ය ගැඹුර මීටර් 2.5ක් පමණ වුණත්, ඇතැම් ගැඹුරු ස්ථාන සහ ගංවතුර අවස්ථාවලදී මෙහි ගැඹුර මීටර් 20කට (අඩි 65කට) වඩා ඉහළ යනවා.
උපරිම පළල: ඇතැම් කඳුකර පටු ස්ථාමවලදි මෙහි පළල ඉතා අඩු වුණත්, තැනිතලා ප්‍රදේශවලට පැමිණීමේදී මෙහි උපරිම පළල කිලෝමීටර් 5 සිට 20 දක්වා අධික පරාසයකට විහිදී යනවා!
ඇත්තටම මේ ගඟ කහ පාට ඇයි?
මේ ගඟ චීනයේ “ලොස් සානුව” (Loess Plateau) හරහා ගලාගෙන එද්දී, ලෝකයේ වෙන කිසිම ගඟකට නොලැබෙන තරම් විශාල රන්වන්/කහ පැහැති පස් සහ වැලි තට්ටු (Silt) මේ ගඟට එකතු වෙනවා. අවුරුද්දකට මේ ගඟ මුහුදට ඇදලා දාන පස් ප්‍රමාණය ටොන් බිලියන 1.6ක්! මේ අධික මඩ සහ පස් නිසයි වතුර සම්පූර්ණයෙන්ම කහ පාට වෙලා තියෙන්නේ.
මිලියන ගණනක් බිලිගත් “චීනයේ ශෝකය”
අධික පස් තට්ටු නිසා ගඟේ පතුල දවසින් දවස ගොඩවෙනවා. එවිට වතුර මට්ටම අවට තියෙන නගරවල මට්ටමට වඩා ඉහළ යන නිසා චීන්නු ගඟ දෙපැත්තේ විශාල බැම්මවල් හැදුවා. හැබැයි වස්සාන කාලෙට වැස්ස වැඩි වුණාම මේ යෝධ බැම්මවල් කඩාගෙන කහ පැහැති මඩ වතුර නගර පිටින් ගිලගන්නවා:


1887 ගංවතුර: මිනිස්සු මිලියනයකට (ලක්ෂ 10කට) ආසන්න පිරිසක් එක රැයින් අතුරුදහන් වුණා.
1931 මහා ගංවතුර: මුළු ලෝක ඉතිහාසයේම සිදුවූ දරුණුම ස්වභාවික ව්‍යසනයක් විදියට සැලකෙන මෙයින් මිනිස්සු මිලියන 1 සිට 4 දක්වා ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්වුණා!
කහ ගඟේ වෙසෙන භයානක සතුන්
මේ ගංගාවේ අධික ලෙස මඩ සහ පස් මිශ්‍ර වී ඇති නිසා සාමාන්‍ය සතුන්ට ජීවත් වීම අපහසුයි. හැබැයි මේ කැලඹුණු දිය යට අතිශය දුර්ලභ වගේම භයානක සතුන් ජීවත් වෙනවා:
1. Chinese Alligator (චීන ඇලිගේටර්): කහ ගඟ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන මොවුන් මීටර් 1.5 – 2ක් දක්වා වර්ධනය වන, වඳවීමේ තර්ජනයට ලක්වූ දරුණු විලෝපිකයන් විශේෂයක්.
2. Chinese Giant Salamander (යෝධ සැලමන්ඩර්): ලෝකයේ වෙසෙන විශාලතම උභයජීවියා වන මොවුන් අඩි 5ක් විතර දිගට වර්ධනය වෙනවා. දිය යට සැඟවී සිට ක්ෂණිකව ගොදුරු දඩයම් කරන සතෙක්.
3. Yellow River Softshell Turtle (කහ ගඟේ මෘදු කටු කැස්බෑවා): ඉතා ආක්‍රමණශීලී, තියුණු හකු ඇති මොවුන් තමන්ට තර්ජනයක් යැයි සිතන ඕනෑම දේකට ඉතා දරුණු ලෙස සපා කෑමේ හැකියාවක් ඇති සතෙක්.
අදටත් පවතින අනතුර
අද වෙද්දී චීනය නවීන තාක්ෂණය සහ යෝධ වේලි (Dams) දාලා මේ ගඟ පාලනය කරන්න හැදුවත්, සොබාදහමේ මේ බිහිසුණු බලවේගය සම්පූර්ණයෙන්ම යටපත් කරන්න මිනිසාට බැරි වෙලා තියෙනවා. එක මොහොතක සිද්දවෙන පුංචි අතපසුවීමකින් මිලියන ගණනකගේ ජීවිත නැති කරන්න මේ “කහ මාරයාට” තවමත් පුළුවන්.
උපුටා ගැනීම : Unknown diary


