ලෝකයේ “භයානකම” සත්වයා කවුද?
“මේ ලෝකයේ ඉන්න භයානකම සතා කවුද?” කියලා කවුරුහරි ඇහුවොත් ඔයාලා දෙන උත්තරේ මොකක්ද?
ගොඩක් අය කියයි “සිංහයා” කියලා . තවත් අය කියයි “මෝරා” කියලා . මොකද එයාලට ලොකු දත් තියෙනවා, එයාලා හරිම රෞද්‍රයි.
ඒත් විද්‍යාවට සහ සංඛ්‍යාලේඛනවලට අනුව ඇත්තම කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස්. අපි අද ඒ ගැන හොයලා බලමු.
පුංචි මදුරුවා පුදුමයි නේද? ලෝකයේ ලොකුම සත්තු පැත්තක ඉද්දී, අපේ ගේ ඇතුළේ ඉන්න පොඩි මදුරුවා තමයි ලෝකයේ භයානකම සත්වයා වෙන්නේ.
මදුරුවා කරන්නේ ලේ බොන එක විතරක් නෙවෙයි. ඩෙංගු, මැලේරියාව, සිකා වගේ මාරාන්තික ලෙඩ රෝග පතුරුවන එකයි. වසරකට මිනිසුන් ලක්ෂ 7 කට (700,000) වඩා මිය යන්නේ මේ මදුරුවන් නිසයි. සිංහයෙක්ට වඩා දහස් ගුණයක් මේ පුංචි සතා භයානක වෙලා තියෙනවා.
“මිනිසා” මේක ටිකක් කනගාටුදායක කතාවක්. මදුරුවාට පස්සේ වැඩිම මනුෂ්‍ය ජීවිත ප්‍රමාණයක් නැති කරන්නේ මිනිස්සුමයි. ඒ යුද්ධ, ගැටුම් සහ අපරාධ නිසා. වසරකට මිනිසුන් ලක්ෂ 4 කට (400,000) අධික පිරිසක් අනෙක් මිනිසුන් අතින් මිය යනවා. බුද්ධිමත් සතෙක් වුණාට, අපි තාම එකමුතුව ජීවත් වෙන්න ඉගෙනගෙන නැහැ වගේ නේද?
සර්පයන් අපි හැමෝම බයවෙන සර්පයන් ඉන්නේ තුන්වැනි තැන. වසරකට 138,000 ක් පමණ පිරිසක් සර්ප දෂ්ට කිරීම්වලින් මිය යනවා. ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ බෙහෙත් පහසුකම් අඩු දුෂ්කර ප්‍රදේශවලදියි.
බල්ලන් අපේ හොඳම මිතුරෙක් වුණත්, බල්ලන් හතරවැනි තැනට එන්නේ “ජලභීතිකා රෝගය” (Rabies) නිසයි. වසරකට 59,000 ක් පමණ මේ නිසා මිය යනවා. ඒ කියන්නේ බල්ලා නෙවෙයි, බල්ලාට එන්නත් නොකිරීමයි මෙතන තියෙන භයානකම දේ.
අපි බයවෙන ලොකු මෝරුන්ගෙන් වසරකට මිය යන්නේ මිනිසුන් 10 දෙනෙක් වගේ ඉතාම පොඩි ගණනක්. ඒත් අපේ ගේ ඇතුළේ ඉන්න පුංචි මදුරුවා ඊට වඩා දහස් ගුණයක් භයානකයි.
ඒ නිසා, සතාගේ ප්‍රමාණයෙන් භයානකකම මනින්න එපා. පරිසරය පිරිසිදුව තියාගන්න. වතුර රැඳෙන තැන් විනාශ කරන්න. ගෙදර බලු පැටියට වෙලාවට බෙහෙත් විදින්න.
මූලාශ්‍රය:
World Health Organization (WHO), Global Burden of Disease Study. BBC Science Focus.
උපුටා ගැනීම : අතැඹුල

