Vipera Berus! ![]()
සර්පයෝ කිව්වම අපිට මතක් වෙන්නේ රත් වෙච්ච වැලි කතරවල්, එහෙමත් නැත්නම් තෙතමනය තියෙන ඝන වනාන්තරනේ? හැබැයි දරුණු හිම කුණාටු වදින, ලේ කැටි ගැහෙන සීතල තියෙන ආක්ටික් කලාපයේ (Arctic Circle) ජීවත් වෙන්න පුළුවන් සර්පයෙක් ඉන්නවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?
ඔව්… අද අපි කියන්න යන්නේ අයිස් කඳු අතරේ තමන්ගේ රාජධානිය ගොඩනගපු, යුරෝපයේ අද්භූතම සර්පයෙක් වෙන Vipera berus ගැනයි!
මෙයාගේ විද්‍යාත්මක පසුබිම
පරිසර විද්‍යාඥයන් මේ සර්පයාව හඳුන්වන්නේ මෙන්න මේ විද්‍යාත්මක නාමයන්ගෙන්:
විද්‍යාත්මක නාමය (Scientific Name): Vipera berus
පොදු නාමයන් (Common Names): Common European Adder, Common Viper
කුලය (Family): Viperidae (පොළොං කුලය)
ගණය (Genus): Vipera
පිටකොන්දේ තියෙන “Z” අකුරේ රහස!
මේ සර්පයාව ලෙහෙසියෙන්ම අඳුරගන්න පුළුවන් බාහිර ලක්ෂණ කිහිපයක්ම තියෙනවා. මුන්ගේ පිටකොන්ද දිගේ ලස්සනට ඇඳිලා තියෙනවා තද පැහැති “Z” අකුරක හැඩය ගත්ත (Zig-zag) රටාවක්. හැබැයි මේ ලස්සන පිටුපස තියෙන්නේ දරුණු විෂක්! හිස තරමක් ත්‍රිකෝණාකාර හැඩයක් ගන්නා අතර, හිස පිටුපස “X” හෝ “V” අකුරේ සලකුණ නිසා මුන්ට ලැබෙන්නේ නියම “ඇඩ්‍රස් නැති කරන” පෙනුමක්.
සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 60ක් (අඟල් 24ක්) විතර දිග වෙන මධ්‍යස්ථ ප්‍රමාණයේ සර්පයෙක් වෙන මුන්ගේ ගැහැණු සතුන්, පිරිමි සතුන්ට වඩා තරමක් විශාලයි. පිරිමි සතුන් අළු හෝ රිදී පැහැති වන අතර, ගැහැණු සතුන් දුඹුරු හෝ ගඩොල් රතු පැහැයට හුරුයි. හැබැයි මේ අතරේ සිරුර පුරාම තද කළු පැහැය ගත්තු (Melanistic) සර්පයන්ද දකින්න ලැබෙනවා.
මාස 6ක් තිස්සේ “මැරිලා” වගේ ඉන්න හැටි!
අනෙක් සර්පයන්ට සාපේක්ෂව මුන් සීතල දේශගුණයට මරු. ආක්ටික් කලාපයට ආසන්නව ජීවත් විය හැකි එකම විෂ සහිත සර්ප විශේෂය වෙන්නෙත් මුන් තමයි. මුළු යුරෝපය පුරාම වගේම රුසියාව, මොන්ගෝලියාව සහ උතුරු චීනය දක්වා ආසියානු කලාපයේ ලඳු කැලෑ, වගුරු බිම්, වනාන්තර මායිම් සහ ගල් බහුල කඳුකර ප්‍රදේශවල මුන් ජීවත් වෙනවා.
උෂ්ණත්වය බිංදුවට වඩා පහළ බැහැගෙන යද්දී මුන් කරන්නේ අපූරු වැඩක්. පොළොව යට තියෙන බෙන හෝ ගල් අස්සට වෙලා, වසරකට මාස 5ක් හෝ 6ක් තිස්සේ මුළුමනින්ම ශීත නිද්‍රාවට (Hibernation) යනවා. ඒ කියන්නේ මුළු ශීත කාලයම මුන් ගත කරන්නේ කිසිම කෑමක් බීමක් නැතුව, හෘද ස්පන්දනය උපරිමයෙන්ම අඩු කරගෙන, හරියට මැරුණු සතෙක් වගෙයි! හැබැයි වසන්ත කාලය උදා වෙච්ච ගමන් මුන් ආයෙත් පණ ගහලා එන්නේ නියම “Undertaker” කෙනෙක් වගේ!
කෑම බීම සහ පැටවුන් බිහිකිරීම

ප්‍රධාන වශයෙන්ම මීයන් වැනි කුඩා ක්ෂීරපායීන්, පක්ෂීන්, හූනන්, කටුස්සන් සහ ගෙම්බන් ආහාරයට ගන්න මුන්, පරිසර පද්ධතියේ මීයන් ගහනය පාලනය කරන්න ලොකු දායකත්වයක් දෙනවා.
අනෙක් සාමාන්‍ය සර්පයෝ වගේ මේ විපර් විශේෂය බිත්තර දමන්නේ නැහැ. මුන් අයත් වෙන්නේ Ovoviviparous කියන සත්ත්ව කාණ්ඩයට. ඒ කියන්නේ බිත්තර සර්ප අම්මගේ බඩ ඇතුළේම මෝරලා, පැටව් බිහිවෙන මොහොතෙමයි සජීවීව එළියට එන්නේ. එක වරකට පැටවුන් 3 සිට 20 දක්වා ප්‍රමාණයක් මේ ලෝකෙට දාන්න මුන්ට පුළුවන්.
ශරීරය නිල් කරන “Hemotoxic” විෂ!
මුන්ගේ දෂ්ට කිරීමක් සිද්ධ වුණොත් මුදා හැරෙන්නේ Hemotoxic කියන විෂ වර්ගයයි. මේකෙන් කරන්නේ අපේ රුධිර සංසරණ පද්ධතියට ප්‍රහාර එල්ල කරන එක. දෂ්ට කරපු ස්ථානය අධික ලෙස ඉදිමිලා, දරුණු වේදනාවක් එක්ක සම නිල් පැහැ වෙන්න ගන්නවා.
හැබැයි මෙන්න මේකයි ඇත්තම කතාව: මුන් සාමාන්‍යයෙන් කලහකාරී සර්පයන් විශේෂයක් නෙවෙයි. මිනිසෙකු පෑගුණොත් හෝ තදින්ම තර්ජනයක් දැනුණොත් විතරයි දෂ්ට කරන්නේ. නිරෝගී වැඩිහිටි මිනිසෙක් මුන්ගේ විෂ නිසා මියයෑමේ ප්‍රවණතාව ඉතාමත් අඩුයි (ප්‍රතිශතයක් විදිහට 1%ටත් වඩා අඩුයි). හැබැයි කුඩා ළමයින්ට, සුරතල් සතුන්ට සහ අසාත්මිකතා (Allergic reactions) ඇති අයට මේ විෂ ජීවිත තර්ජනයක් වෙන්න පුළුවන් නිසා වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම අනිවාර්යයි!
ඔබ මොකද හිතන්නේ? මේ වගේ සීතල දේශගුණයකට ඔරොත්තු දෙන සර්පයෙක් ගැන මීට කලින් අහලා තිබුණද?
ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න.
උපුටා ගැනීම : unknown diary


