සුන්දර බේරේ වැව කොළඹට අලංකාරය එක්කරන ප්රමුඛ ආභරණයකි. එපමණක් නොව කොළඹ පරිසරයේ සමතුලිතතාවය සුරක්ෂිත කිරීමට ද බේරේ වැව අතිමහත් දායකත්වයක් ලබා දෙයි. කොම්පඤ්ඤවීදිය, ඩී. ආර්. විජයවර්ධන මාවත, අරලියගහ මන්දිරය ආශ්රිත ප්‍රදේශ, ගාලු මුවදොර, පිටකොටුව බැස්ටියන් මාවත දක්වා වූ විශාල වපසරියක බේරේ වැව පැතිර ගොස් තිබේ. අතීතයේදී මෙය හෙක්ට්යාර 165 පමණ භූමි භාගයක පැතිර පැවතුනත් විවිධ හේතූන් නිසා වරථමානය වන විට එය හෙක්ට්යාර 65 ක් පමණ දක්වා අඩුවී තිබේ. යටත් විජිත සමයේදී පෘතුග්‍රීසින් හා ඉංග්‍රීසින් විසින් නගරය තුල භාණ්ඩ ප්‍රවාහනය සඳහා බේරෙ වැව භාවිත කල බව පැවසේ. කැළණි නදියෙන් පෝෂණය වන මෙහි සාමාන්‍ය ගැඹුර මීටර් 5.6 වන අතර, ජල දාරිතාවය ඝන මිටර් 2,903,000 කි.
බේරෙ වැවේ වෙන් කොට හඳුනාගත හැකි කොටස් දෙකකි. එනම් කුඩා වැව සහ මහ වැව වේ. මෙම කොටස් දෙක පටු ඇල මාරගයක් ඔස්සේ කොම්පඤ්ඤ වීදියේදී එකිනෙක සම්බන්ධ වේ. වැවෙහි වැඩිපුර ජලය ගාලු මුවදොර පිටිය හරහා ඉන්දියන් සාගරය වෙත ගලා බසී.
වැව ඉදිකිරීමට පාදක වූ කරුණු
අතීතයේදී අක්කර 400 යුත් භූමි ප්‍රදේශයක් වසා ගත් බේරේ වැවේ ඉපැරණි ඉතිහාසය සොයා යන විට මෙය පෘතුගීසි යුගයටත් වඩා ඈතට දිව යන්නක් බව පෙනේ. 1518 දී කොළඹ නගරයේ ආධිපත්‍යය හිමි වී තිබුණේ පෘතුගීසීන් සතුවය. එවකට කන්ද උඩරට රාජධානියේ සිංහල සේනාවගෙන් පෘතුගීසීන්ට එරෙහිව නිතරම ප්‍රහාර එල්ලවූවද පෘතුගීසින් සතුව තිබූ නවීන වූ යුද අවි හා තුවක්කු නිසා සිංහල සේනාව පරාජය කර තම කොළඹ පිහිටි බලකොටුව රැක ගැනීමට ඔවුන්ට හැකි විය. එහෙත් සිංහල හමුදාව පරාජය භාර ගැනීමට අකමැති වූ නිසාදෝ දිගින් දිගටම බලකොටුවට එල්ල කරන ප්රහාරයන්ට මුහුණදීම සඳහා තුවක්කු වලින් පමණක් කළ හැකි කාරය භාරය සීමිත බව දැන ගත් පෘතුගීසිහු බලකොටුව රැක ගැනීමට විවිධ උපක්‍රම සෙවූහ.
පෘතුගීසීන්ට කදිම උපායක් සිහිපත් විය. ඒ තම බලකොටුව වටා විශාල දිය අගලක් නිර්මාණය කිරීමයි. මේ වන විටත් පෘතුගීසින්ගේ බලකොටුව පිහිටි ප්‍රදේශය බටහිර දෙසින් ඉන්දියන් සාගරයෙන් වට වී තිබුණු නමුත් අනෙක් සෑම ප්‍රදේශයකම මායිම් වී තිබුණේ වගුරු බිමකිනි. මේ වගුරු බිම හරහා විශාල දිය අගලක් කැපීමේ භාරදූර කර්තව්‍යය ලහි ලහියේ ආරම්භ විය. එහෙත් මෙහි බරපතල බවත්, දිය අගලට අවශ්‍ය තරම් ජලය නොතිබීමත් විශාල ප්‍රශ්නයක් වීම හේතුවෙන් දිය අඟල කැපීමේ මෙහෙයුම අතරමඟ නතර කර දැමීමට පෘතුගීසින්ට සිදුවිය.
මේ වකවානුවේදී විජයබාහු රජුගේ සේනාව කොළම පිහිටි පෘතුගීසී බලකොටුවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කළ නමුදු මෙවැනි ප්‍රහාරයක් බලාපොරොත්තු වෙන් සිටි පෘතුගීසින් සිංහල සේනාව පසු පස ලුහුබඳිමින් එයට සාර්ථකව මුහුණ දුන්හ. පෘතුගීසි සේනාව මෙහෙයවූ කපිතාන් ලොපෝ ද බි්රටෝ ප්රමුඛ සේනාව, සතුරන් පලවා හැරීම සිදු කළේ මීට පෙර වැඩ අතරමඟ නතර කළ වගුරේ ඈත ප්‍රදේශයට සේන්දු වීමෙන් අනතුරුවයි. මෙසේ සතුරු සේනාව පලවා හැරීමෙන් පසු මහන්සි හරිමින් සිටින විටදී ඔවුන්ට දිය පහරක් ගලා යන සද්දයක් ඇසුණි. එම හඬ ඇසුණු දෙසට ගමන් කළ ඔවුන්ට දක්නට ලැබුණේ අපූරු සිත් ඇඳගන්නා සුළු දර්ශනයකි. එනම් පිරිසිදු දිය පහරක් ගලා යන අයුරුය. එම දිය පහරින් විඩා නිවාගෙන එහි පිහිටීමත් සටහන් කරගෙන ඔවුහු නැවතත් බලකොටුව බලා පිටත් වූහ. එම දිය පාර ගලා බසිමින් තිබුණේ දෙමටගොඩ කඳු ගැටයටත්, සාන්ත සෙබෙස්තියන් කඳුගැටයටත් අතරිනි. මේ තොරතුරු දැනගත් පසු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් පෘතුගීසින් එම දිය පහර, තමන් විසින් කලින් කපා අත්හරින ලද අගලට සම්බන්ධ කලහොත් සතුරන්ට මෙය විශාල බාධාවක් වන බව පෘතුගීසිහු දැන ගත්හ. එහි ප්‍රතිඵලය වුයේ රමණීය දිය තලයක් නිරමාණය වීමයි.
බේරේ වැව ඉදිවුණු හැටි
ඒ අනුව බේරේ වැව ඉදිකිරීම සිදු කරනු ලැබුවේ පෘතුගීසි විසින් 1521 වර්ෂයේදීය. මේ වැව එදා කොළඹ කොටුව දකුණු ප්රාකාරයට පියවර 100 කින් පමණ දුරින් පිහිටි අතර, නැගෙනහිර දෙසින් වුල්ෆන්ඩෝල් , හල්ෆ්ට් ඩෝර්ප් හා ශාන්ත සෙබස්තියන් කඳු ගැට පාමුල දක්වාද විහිදුණි. මෙහි එක ඇළක් පිහිටි අතර, එය යෝරක් වීදියට සමාන්තරව ගලාබැස ඇත. බේරේ වැවේ දූපත් කිහිපයක් පිහිටා තිබුණි. ඒ අතර අද ‘කොම්පඤ්ඤ වීදිය’ නමින් හැඳින්වෙන ප්‍රදේශය ලෙස සැලකේ.
බේරේ කියන නම යෙදූ ආකාරය පිළිබඳ විවිධ මතවාද තිබේ. බේර (Beira) නම් ඉංජිනේරුවරයා වැව සෑදීමට මුල් වුණ බැවින් ඔහුගේ නම යෙදු බවට මතයක් තිබෙන අතර. ඩි. බියර් (De Beer) නම් ලන්දේසි ඉංජිනේරුවරයාගේ අවසන් නමෙන් බිඳී ආ එකක් බවටත් මතයක්ද පවතී.
කොළඹ නගරය වටාපිහිටි වැව සම්පූරණ දිග ප්‍රමාණය සැතපුම් 10, 1/2 කින් යුක්තය. ලෝරන්ස් කඳු ගැටය ඇතුළත් වූ එය කලපුවකින් වට වී තිබුණි. 1578 දී කොළඹ නගරය අල්ලා ගැනීමට පැමිණි සීතාවක මායාදුන්නේ රජු බේරේ වැව හිස් කිරීමට උත්සාහ ගත් නමුත් පෘතුගීසීහු ඊට ඉඩ නොදුන්හ. ඔහුගේ පුත් රාජසිංහ රජු පසු කාලෙක කොළඹ නගරය වටලා කිහිප විටක්ම ඇළවල් මාර්ගයෙන් වැවේ ජලය පතුලටම හිස් කළේය. මින් එක් ඇළක් වන්නේ සාන්ත බස්තියන් ඇළයි. බේරේ වැව එදා පෘතුගීසින් ප්‍රධාන වශයෙන් උපයෝගී කරගත්තේ සතුරු ආක්රමණවලට එරෙහි පහුරක් ලෙසින් හා යුද අවි ප්‍රවාහනය සඳහාය. ඊට අමරතව කැලණි ගගේ ඉහළ සිට ආහාර ද්‍රව්‍ය කොළඹට ප්‍රවාහනය කිරීම සඳහාද යොදා ගනුලැබීය.
ලන්දේසි යුගයේ දී ඇති වූ සමෘද්ධිමත් බව
පෘතුගීසි මෙම වැවේ ඉදිකිරීම් සිදු කළද, ෙබේරේ වැවේ සමෘද්ධිමත් කාලය ලෙස වාරතා වන්නේ ලන්දේසි යුගයයි. ලන්දේසීන් විසින් මෙහි තිබූ බලකොටුව කුඩා කර වැව විශාල කිරීමට කටයුතු කර ඇත. ලන්දේසින් මෙම බේරේ වැව පදනම් කර ගනිමින් කොළඹ නගරයේ කාර්යක්ෂම ඇළ මාර්ග ජාලයක්ද ඉදි කිරීමට කටයුතු කළ අතර මෙම ඇළ මාරග ඉදිකිරිම හේතුවෙන් ජල ක්‍රීඩා මෙන්ම දූපත් බිහිවීමත් සිදුවිය.
ලන්දේසි ඉංජිනේරුවරයෙකු වූ වයිවර නම් අයෙක් මෙහි පොකුණක්ද ඉදි කිරීමට කටයුතු කළ බව පැවසේ. මෙම ප්‍රදේශයට ලන්දේසීන් “අවුඩ් ස්ටාඩ්” යන නම යෙදූ නමුත් පසුකාලීනව මෙම බලකොටුව අල්ලා ගත් ඉංග්‍රීසින් මෙම ප්‍රදේශය හැඳින්වීමට භාවිත කර ඇත්තේ “පෙටා” යන නමයි.
1795 දී පමණ මෙම ප්‍රදේශය ඉංග්රීසින්ගේ ග්‍රහණයට නතු වුවද, ඔවුන් බේරෙ වැව ආශ්රිත ප්‍රදේශය හොඳින් නඩත්තු කරමින් තමන්ගේ අවශ්‍යතාවලට භාවිත කලේය. ඒ කාලයේ බේරේ වැව අවට සුන්දරත්වය බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇත. 1828 ත් 1839 ත් අතර වකවානුවේදී මෙහි කාලතුවක්කු හමුදාවේ සේවයේ නියුතු ඉංග්‍රීසි ජාතික ජෝන් ඩෙස්මින් බේරේ වැවේ රමණීයත්වය විස්තර කර ඇත්තේ මේ ආකාරයටයි.




“බේරේ වැව ඉතාමත් සුන්දර දිය දහරක් විය. එයට ජලය සැපයීමට කුඩා ඇළ මාර්ග කීපයක්ම පැවති අතර කොටුවේ සොරොව්වේ සිට ඊසාන දිගට සැතපුම් හතරක් පහක් පමණ දිගු විය. වැව නිසා කොළඹ නගරය සැබවින්ම සිත් ගන්නා තෝතැන්නක් වුයේය.”
මෙම යුගයේදී බේරේ වැව සෞන්දරය නිකේතනයක් ලෙසින් භාවිත කර තිබේ. නොයෙක් ආකාරයේ තුරුලතා, මල්වතු, තණපිටි ආදියෙන් සමන්විත වූ මෙම ප්‍රදේශය වරාය ආශ්‍රිතව තිබුණු කලබලකාරීත්වයට නිස්කලංක බවක් එක්කිරීමට සමත් වූවාට කිසිඳු සැකයක් නැත. මෙම වැව අවට විවිධ උත්සව ආදියත පවත්වා තිබෙන බවද සඳහන් වේ.
වර්තමාන තත්ත්වය
කෙසේ නමුත් පසුකාලීනව ඇති වූ ශීඝ්‍ර දියුණුවත් සමඟ සුන්දර බේරේ වැව දුෂණය වීමක් සිදු විය. අද බේරේ වැව කිවූ පමණින් බොහෝ දෙනෙක්ට එකවරම මතක් වෙන්නේත් ඒ ආශ්‍රිතව පවතින අධික දුර්ගන්ධයයි. අවුරුදු සියයකට පමණ පෙර කොළඹ කොටුව ආරක්ෂා කළ ජල පවුර වූ බේරේ වැව විවිධ ඉදිකිරීම් සංවර්ධන කටයුතු ඇතුළු මානව ක්‍රියාකාරකම් නිසා විනාශයට පත්වූ අතර මේ වන විට එහි ඇතැම් කොටස් ජලය බැස නොයන හුදෙකලා ජලාශ බවට පත්ව තිබේ.
වියළි කාලයේදී ජලාශයේ ජලය දුර්ගන්ධයට මූලිකම හේතුව අධික පරිසර දූෂණයයි. එසේම වියළි කාලගුණ තත්ත්වය නිසා ජලාශයේ ජලය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙසින් ජලාශයේ ජලය මුහුදට ගලා යෑම නැවතීමද, බේරේ ජලය මුහුදට ගලන මෝයකට අවහිර වීම ද මේ තත්ත්වයට බලවත් සාධක බවට පත්ව තිබේ. ජලාශය මතුපිට නීලහරිත ඇල්ගී නම් විශේෂය පැතිර යාම නිසා ජලයේ පහළ ප්‍රදේශයට හිරු එලිය ගලා නොඒම හේතුවෙන් බැක්ටීරියා සක්‍රීය වීම ද ජලාශයේ දුර්ගන්ධයට හේතුවකි.
කෙසේ නමුත් කාලයක් තිස්සේ සිදු කරන පිරිසිදු කිරීමේ ව්‍යාපෘති නිසා වරථමානයේ එම තත්වය මදක් සමනය වී පවතින බව දක්නට ලැබේ.
පුරාණ රජ කාලයේ වී ගොවිතැන් කටයුතු පහසු කරන්න අපේ රජවරුන් විසින් ඉදි කරන ලද වැව් අමුණු බොහොමයක් තිබුණෙද කාලයක් තිස්සේ අපේ රට පාලනය කරපු යුරෝපීය ජාතිකයන් ඉදිකළ වැව් ඇත්තේ අතළොස්සක් පමණි. එ් අතරින් ප්‍රධානම තැනක් බේරේ වැවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. පාරිසරික වැදගත් කමින්ද අනූන මේ වැව අපිරිසිදු නොකිරීමට වගබලා ගැනීම රටවැසි අපගේ යුතුකමකි
Pathiru / පතිරූ


