ශාකවලින් සපයා ගැනෙන ආහාර මිනිස් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම පහළ දැමීමට බෙහෙවින් හේතුවන බව වෛද්‍ය පර්යේෂණ මඟින් අනාවරණ කරගෙන ඇත. අපගේ ශරීරයේ මේදය ආකාර දෙකකින් තැන්පත් වේ. එක් ආකාරයක් වන්නේ සංතෘප්ත මේදයි. අනෙක් ආකාරය වන්නේ අසංතෘප්ත මේදයි. එළවළු වර්ග, පළතුරු හා කඩල, මුං ඇට ආදී ධාන්‍ය වර්ග ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ ශරීරවල සංතෘප්ත මේද අඩු වේ. මෙය ශරීරයට හිතකර තත්ත්වයකි.
හරිත ආහාරවල ස්වභාවිකවම තන්තු, මාංශ ජනක ධාතු බෙහෙවින් අන්තර්ගත වේ. එයද කොලෙස්ටරෝල් අඩුවීමට බලපායී. අධි කොලෙස්ටරෝල් තත්ත්වය ඉතා අනතුරුදායක තත්ත්වයකි. එයට හේතු වන්නේ බොහෝ විට අධි කොලෙස්ටරෝල් තත්ත්වය යටපත්ව, හඳුනාගත නොහැකි තත්ත්වයක තිබීමයි. ඒ නිසාම එයට ප්‍රතිකාර ලබා නොදීම හේතු කොටගෙන ධමනි සම්බන්ධ හෘදයාබාධ, හෘද අක්‍රීයතාවන් හා රුධිරවාහිණී සම්බන්ධ හෘද රෝග ආදිය ඇතිවීමට හේතු වනවා.
හරිත ආහාර වැඩි වශයෙන් ගැනීම හෘද සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්නන්ගේ හොඳ රෝග නිවාරණ කාර්යයක්. ගැටළුකාරී අවස්ථාවකදී ප්‍රමාද නොවී ඒ කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවීම වැදගත්. යම් අයෙකුගේ ධමනි තුළ කොලෙස්ටරෝල් වර්ධනය වුවහොත් ඔහුගේ රුධිර සංසරණය අඩුවන අතර, එය හෘදයාබාධයකට හේතුවිය හැකියි. රුධිර නාල සම්පූර්ණයෙන්ම අවහිර වීම ඉතා අවදානම් සහගතයි. මොලයට ලේ ගෙන යන නාලයක් අවහිර වුවහොත් එය කෙනෙකු ආඝාතයට ලක්වීමේ හේතුවක්. එමෙන්ම, දියවැඩියාව හා අධි රුධිර පීඩනය ඇතිවීමේ හේතුවක් විය හැකියි. කොලෙස්ටරෝල් යනු මේදය සහිත ඉටි වැනි ද්‍රව්‍යයක්. එය සිරුරේ සෑම සෛලයකම තිබේ. ඒ වාගේම ශරීරයේ ඕනෑම තැනක තැන්පත්වීමේ හැකියාවත් පවතී. මස්, මාංශ අනුභව කරන්නෙකුගේ ශරීරගත සමස්ත කොලෙස්ටරෝල් ප්‍රමාණයට වඩා හරිත ආහාර පමණක් අනුභව කරන්නෙකුගේ එම ප්‍රමාණය ඉතා අඩුයි. මේ නිසා එළවළු පමණක් සීමා වන ආහාර රටාවකට බොහෝ කාලයක් තුළ හුරු වී සිටීම ශරීරගත මේදය කෙරෙහි බෙහෙවින් හිතකර සේ බලපායී.
ජීවිතයේ මුල් කාලයේදීම ස්වකීය පෝෂණය කෙරෙහි සැලකිලිමත් වීම, තමා ලබාගන්නා ආහාරවල අඩංගු පෝෂ්‍ය පදාර්ථ පිළිබඳව අවබෝධයෙන් සිටීම, ශාක පදනම් කොටගත් ආහාරවලින් සංතෘප්තවීමට කටයුතු කිරීම කොලෙස්ටරෝල් මඟ හරවා ගැනීමට රුකුලක් වේ. යම් කිසි රෝගයක් වැළඳුණායින් පසු එය සුවකර ගැනීමට වඩා එයින් ගැලවී සිටීමට කටයුතු කිරීම වඩා වැදගත් බව සඳහන් කළ යුතුයි.
උපුටා ගැනීම: wellnessexpert

