රෝග කලින් හඳුනා ගැනීමේ අවස්ථාව ලැබීම
හෘද රෝග, දියවැඩියාව සහ පිළිකා වැනි රෝග තත්ත්වයන්වල මුල් අවධියේදී රෝග ලක්ෂණ හඳුනා ගැනීම පහසු නැහැ. සාමාන්‍ය පරීක්ෂාවලදී මෙම රෝග ලක්ෂණ හඳුනා ගන්නත් බැහැ. ඒ නිසා තමයි වරින් වර වෛද්‍ය පරීක්ෂණ කරවා ගත යුත්තේ. එමගින් රෝග ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර ඇරඹිය හැකි වෙනවා. ඉක්මන් ප්‍රතිකාර ඇරැඹීමෙන් අනාගතයේ ඇතිවිය හැකි බරපතළ උවදුරු වළක්වා ගත හැකියි.
උදාහරණ: රුධිර පීඩනය නිතිපතා පරීක්ෂා කිරීමෙන් අධි රුධිර පීඩනය කලින්ම හඳුනාගත හැකියි. එයට ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනාගතයේදී ඇතිවිය හැකි හෘද රෝග, ආඝාතය වැනි තත්ත්වයන් වළක්වා ගත හැකිය.
රෝග වළක්වා ගැනීම සහ අවදානම අවම කිරීම
වෛද්‍ය පරීෂණයකදී වෛද්‍යවරු ඔබගේ සාමාන්‍ය ජීවන රටාව, ආහාර රටාව, ව්‍යායාම සහ පවුල් ඉතිහාසය වැනි අවදානම් සාධක තක්සේරු කරනු ලබනවා. මෙය ඔබට සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීමට උපකාර කරන අතර ඔබගේ ජීවන රටාව වෙනස් කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීම සිදුකරනවා. එමගින් රෝග වළක්වා ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශයන් ඔබට හිමිවෙනවා.
උදා: පවුලේ සෙසු සමාජිකයන්ට කොලොස්ටරෝල් වැලඳී තිබෙනවා නම් සහ ඔබ සෞඛ්‍යයට අහිතකර ආහාර රටාවකට පුරුදු වී සිටින බව වෛද්‍යවරුන් හඳුනාගතහොත් ආහාර රටාව වෙනස් කර ගැනීමටත්, ව්‍යායාම සිදු කිරීමටත් උපදෙස් ලැබෙනවා.
නිදන්ගත රෝග නිරීක්ෂණය කිරීම
දැනට ඇදුම, දියවැඩියාව හෝ අධි රුධිර පීඩනය වැනි නිදන්ගත රෝගයකින් යමෙක් පීඩා විඳිනවා නම් වෛද්‍ය පර්යේෂණ මගින් ඔවුන්ගේ රෝගයේ ප්‍රගතිය මැනගත හැකි වෙනවා. එවිට ඒ අනුව ප්‍රතිකාරවල වෙනස් කිරීම් සිදු කිරීමට වෛද්‍යවරුන් පියවර ගන්නවා.
උදාහරණ: දියවැඩියා රෝගියෙකුගේ රුධිරගත සීනි මට්ටම නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඔවුන් ලබා ගන්නා ඖෂධ සහ රුධිරගත සීනි ප්‍රමාණය නිසා වකුගඩුවලට සිදු වී ඇති හානිය, පෙනීම නැතිවීමේ අවදානම වැනි සංකූලතා වෛද්‍ය පරීක්ෂණ මගින් හඳුනාගත යුතුයි. එමඟින් වත්මන් තත්වයට ගැලපෙන ලෙස ඖෂධ වෙනස් කිරීමක් සිදුවෙනවා.
සමස්ත සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමට උපකාරී වීම
වෛද්‍ය පරීක්ෂණයකදී ශරීරය නිසි ලෙස ක්‍රියාත්මක වන බව සහතික කිරීමක් සිදුවෙනවා. රුධිර පරීක්ෂණ, මුත්‍රා පරීක්ෂණ සහ ශාරීරික පරීක්ෂණ මගින් ඔබේ සෞඛ්‍යය පිළිබඳ සම්පූර්ණ චිත්‍රයක් ලබාදෙනවා. එහි ඇති අසමතුලිතතා, අඩුපාඩු හඳුනා ගැනීමේ අවස්ථාව ලැබෙනවා.
උදා: වෛද්‍ය පරීක්ෂණයකදී සිදුකරන රුධිර පරීක්ෂාවක් හරහා විටමින් ඌනතා වැනි තත්ත්වයන් අනාවරණය විය හැකියි. එයින් ආහාර රටාව වෙනස් කළ යුතු ආකාරය ගැන මාර්ගෝපදේශයක් ලැබෙනවා.
වෛද්‍යවරයාගෙන් විශ්වාසනීය තොරතුරු ලබා ගැනීමේ අවස්ථාව හිමි වීම
යම් වෛද්‍යවරයෙකු ඔබගේ වෛද්‍ය ඉතිහාසය දන්නා විට ඔබට වඩාත් ගැලපෙන උපදෙස් ලබා දීමට ඔහු සමත් වෙනවා. කාලයත් සමඟ ඔබගේ සෞඛ්‍යයේ සිදු වන සියුම් වෙනස්කම් හඳුනා ගැනීම ඔවුන්ට පහසු වෙනවා. වෛද්‍ය පරීක්ෂණයකට පසුව ඔබට ඇති ගැටලු වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට, ප්‍රශ්න ඇසීමට සහ පුද්ගලික වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.
මුදල් ඉතිරි වීම
රෝග කල් තියා හඳුනාගැනීමෙන් සහ රෝග වළක්වා ගැනීමට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලැබීමෙන් රෝග අවදානම වැලකෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අනාගත මිල අධික ප්‍රතිකාර වලට මුහුණ දෙන්නට ඔබට සිදුවන්නේ නැහැ. යම්කිසි රෝගී තත්ත්වයක් කලින්ම හඳුනා ගැනීම හරහා රෝගය කළමනාකරණය කරගෙන දිගුකාලීනව ඇති විය හැකි පිරිවැය සහ සංකූලතා වළක්වා ගත හැකි වෙනවා.
උපුටා ගැනීම: wellness expert


