in

රෝගයක ඉඟි සපයන සිරුරේ වෙනස්කම්

බොහෝ දෙනෙක් සිරුරේ ඇති වෙමින් පවතින රෝග මුලදීම හඳුනාගන්නේ නැහැ. නමුත් රෝගය හඳුනා ගැනීමෙන් පසුව පසුගිය සමයේ පෙන්නුම් කරන ලද සංඥා සහ රෝග ලක්ෂණ මතක් කළහොත් ඒවා තිබුණු බව අනිවාර්යයෙන්ම සිහිපත් වනු ඇත. ඔබ ඔබගේ සිරුර ලබා දෙන සංඥා දෙස සැලකිලිමත් ලෙස බලන්නේ නම් ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන රෝගය සමනය කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. ඔබගේ ශරීරය ඔබට සංඥා සපයන්නේ එහි ඇති යම් ගැටළුවක් ගැන ඔබට දැන්වීමට අවශ්‍ය වූ විටය.

වැසිකිළි ගිය පසුව මලපහ ජලය මත පාවෙන බව ඔබ දුටුවහොත් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. මෙයට හේතුව ඔබ ලබාගන්නා ආහාර වල වරදක් විය හැකිය. එවැනි තත්ත්වයක් දක්නට ලැබේ නම් බෝංචි, කිරි, ඇපල් වැනි ආහාර ලබා ගැනීම අඩු කරන්න. මෙසේ සිදුවන්නේ එම ආහාර මඟින් කුස තුල වායූන් එක් රැස් කරන බැවිනි.

ඔබගේ දෙනෙත් වල දැඩි වියළි බවක් සහ කසන සුළු ගතියක් තිබේ නම් එය නොසලකා හරින්න එපා. මෙයට හේතුව ඔබ ඔබගේ දුරකථනය හෝ පරිගණක තිරය දෙස බොහෝ වේලාවක් බලා සිටීම නිසා දෙනෙත් වල ඇති වෙමින් පවතින ගැටලුවක් විය හැකිය. ඔබගේ මුඛය නිතර වියළෙනවා නම් ඛේටය ගලා එන්නේ නැතිනම් එයද ගැටලුවක්. දෑසේ කඳුළු සහ මුඛයේ ඛේටය නිපදවන ග්‍රන්ථි වල ආසාදනයක් මෙයට හේතු විය හැකිය. මෙම ලක්ෂණ නොසලකා හැරීමෙන් මෙම තත්ත්වය නිදන්ගත රෝගයක් බවට පත්වනු ඇත.

ඔබට දැඩි සීතලක් දැනෙනවා නම් එය ගැටලුවකි. අවට කාලගුණය සිසිල් නොවූවද සිරුරට දැඩි සිසිලසක් දැනෙනවා නම් ඊට හේතුවිය හැක්කේ ඔබගේ සිරුරේ තයිරොයිඩ් නිෂ්පාදනය අඩු වීම විය හැකිය. සිරුරෙහි නිපදවෙන තයිරොයිඩ් හෝමෝන මට්ටම අඩු වීම නිසා පරිවෘත්තිය ක්‍රියාවලිය මන්දගාමී වේ. එහි ප්‍රතිඵලයක් ලෙස දැඩි සීතලක් දැනෙන්නට පටන් ගන්නවා.

දිනකට හිස කෙස් ගස් කිහිපයක් ගැලවී යාම සාමාන්‍ය දෙයක්. නමුත් අධික ලෙස ඔබගේ හිසෙහි හිසකෙස් ගැලවී යන බව ඔබ දුටුවහොත් එය නොසලකා හැරීමෙන් වලකින්න. හිසකෙස් පීරීමෙන් පසුව පනාවෙහි ගැලවුන හිසකෙස් විශාල ප්‍රමාණයක් දැක ගත හැකි  වීම, නින්දෙන් අවදි වූ පසුව කොට්ට උරය මත ගැලවී වැටුණු හිසකෙස් විශාල ප්‍රමාණයක් දැකගත හැකි වීම, ස්නානයෙන් පසුව නානකාමරයේ ගැලවී වැටුණු හිසකෙස් විශාල ප්‍රමාණයක් දැකගත හැකි වීම වැනි ලක්ෂණ වලින් මෙම තත්වය හඳුනා ගත හැක. ඊට හේතුව විය හැක්කේ සිරුරෙහි යකඩ හිඟ වීම විය හැකිය. ඔබ ඔබගේ ආහාර වේල ගැන සැලකිලිමත් විය යුතු බවත්, සමතුලිත ආහාර වේලක් ලබා ගත යුතු බවත් මෙයින් ඔබට ඉඟි කරවයි. සිරුරට අවශ්‍ය යකඩ ප්‍රමාණය ඔබ ලබා ගන්නේ නැතිනම් හිසකෙස් ගැලවී යනවාට අමතරව වෙනත් රෝගී තත්ත්වයන්ද නුදුරේදීම ඇතිවීමට ඉඩ ඇත.

ඔබගේ දත් උණුසුම් හෝ සීතල ආහාරවලට අධික ලෙස සංවේදී වන්නේ නම් එයද නොසලකා හැරීමෙන් වළකින්න. බොහෝවිට මෙය සිදුවන්නේ  දන්ත ඛාදනයක් නිසා විය හැකිය. ඔබගේ දත්ත එනමලයේ ආරක්ෂිත ස්තරයට හානි සිදුවී තිබේ නම් මෙම තත්ත්වය උදාවිය හැකිය. ඇතැම්විට එය ඔබගේ ආහාර ජීර්ණ පද්ධතියේ ඇති ගැටලුවක් නිසා ඇතිවන සංඥාවක් විය හැකිය. ඔබගේ දත් වල අධික සංවේදීතාවයක් ඔබට දැනෙන්නේ නම් වහාම ඔබගේ දන්ත වෛද්‍යවරයා හමුවන්න. ගැටලුව කලින්ම හඳුනා ගැනීමෙන් ප්‍රතිකාර ලබාගෙන එය සුව කිරීමට හැකි වනු ඇත.

ඔබට නිරන්තරයෙන් අධික පිපාසයක් දැනෙනවා නම් එය දියවැඩියාවේ රෝග ලක්ෂණයක් විය හැකිය. රෝගය නිසා ශරීරයේ ග්ලූකෝස් නිෂ්පාදනය වැඩි වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔබගේ වකුගඩුවල ක්‍රියාකාරිත්වය වැඩි වේ. මේ නිසා මුත්‍රා කිරීමේ සහ ජලය පානය කිරීමේ අවශ්‍යතාවය වෙනදාට වඩා වැඩියෙන් දැනෙනු ඇත.

උපුටා ගැනීම: wellnessexpert

What do you think?

Written by Mic

වෛද්‍ය පරීක්ෂණයක් කර ගැනීමේ වාසි

බේත් වලින් එන අතුරු ආබාධ සහ විසඳුම්