සමහර බෙහෙත් වර්ග ලබා ගත් විට විවිධ අතුරු ආබාධ ඇතිවෙන්න පටන් ගන්නවා. එවැනි අවස්ථාවකදී ඔබගේ වෛද්‍යවරයා හමු වී ඖෂධය මාරු කර ගැනීම ගැන සාකච්ඡා කළ යුතුයි. මේ අතර ඇතිවුණු අතුරු ආබාධ, අපහසුතා අවම කර ගැනීමට කළ හැකි සරල විසඳුම් කිහිපයකුත් තියෙනවා. අද අපි කතා කරන්නේ මේ ගැනයි.
ඔක්කාරය
යම්කිසි ඖෂධයක් ලබා ගැනීමෙන් පසුව ඔබට වමනය ස්වභාවයක්, බඩේ දැවිල්ලක්, අපහසුතාවයක් ඇති වෙනවා නම් එම ඖෂධය ආහාර සමඟ එකට ලබා ගැනීම සුදුසුය. එසේත් නැතිනම් මාත්‍රාව දවස පුරා කුඩා කොටස් වලට බෙදා ලබා ගැනීමද කළ හැකිය. ඔක්කාරය වළක්වා ගැනීමට උදව් වන ප්‍රතිකර්මද භාවිතා කළ හැකිය.
හිසරදය
සමහර ඖෂධ වල ප්‍රතිඵලයක් ලෙස හිසේ කැක්කුම ඇතිවෙනවා. එවිට හොඳින් ජලය පානය කිරීම, ලිහිල් කිරීමේ ව්‍යායාමවල නිරත වීම, වේදනානාශක ඖෂධ භාවිතා කිරීම ආදිය කළ යුතුය. එයින් හිසරදය සමනය වෙනු ඇත.
නින්ද නොයාම හෝ නිදි මත වැඩි වීම
සමහර ඖෂධ වල ප්‍රතිඵලයක් ලෙස නින්දට බාධා ඇතිවෙනවා. තවත් සමහරුන්ට වැඩිපුර නිදිමත දැනෙනවා. මෙය වළක්වා ගැනීමට කැෆේන් අඩංගු පාන වර්ග භාවිතා කිරීම නැවැත්විය යුතුය. නින්ද උත්තේජනය කරන ක්‍රියාකාරකම්වල නිරත විය යුතුය. නිදා ගැනීමට ස්ථීර වේලාවක් ස්ථාපිත කරගත යුතුය. නින්දට බාධා ඇතිවන ඖෂධ උදේ වරුවේ ලබා ගැනීම සුදුසුය.
ලිංගික දුර්වලතා
සමහර ඖෂධ ලබා ගැනීමේදී ලිංගික දුර්වලතා මතුවෙන්න පුළුවන්. මෙය ඔබගේ වෛද්‍යවරයාට දැනුම් දිය යුතුය. මෙහිදී වෛද්‍යවරයා ඖෂධ මාත්‍රාව වෙනස් කිරීම හෝ වෙනත් ඖෂධයකට මාරු කිරීම, ලිංගික දුබලතා කළමනාකරණය කර ගැනීමට උදව් වන ඖෂධ නිර්දේශ කිරීම ආදිය කරනු ඇත. ඇතැම් විට උපදේශනය මඟින්ද මෙම ගැටළුව සමනය කරගත හැකි වනු ඇත.
බර වෙනස් වීම
සමහර ඖෂධ වල ප්‍රතිඵලයක් ලෙස බර වැඩි වීම හෝ බර අඩු වීම සිදු විය හැකියි. මෙය සමනය කර ගැනීමට සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම ආදී වෙනස්කම් සිදු කළ යුතුය.
මුඛයේ වියළි ගතිය වැඩිවීම
මුඛයේ වියළි බව අඩු කර ගැනීමට නිතිපතා ජලය පානය කළ යුතුය. සීනි රහිත චුවින්ගම්, ලොසින්ජර ආදිය සැපීම මගින් මුඛය වියළි වීම වළක්වා ගත හැකි වනු ඇත. ඖෂධ ලබාගන්නා කාලසීමාව තුල කැෆේන් සහිත පාන වර්ග, මධ්‍යස්ථාර ආදිය පානය කිරීමෙන් වැළකී සිටිය යුතුය.
දහදිය දැමීම
ඇඟට සුව පහසු ඇඳුම් ඇඳීම, දහදිය වළක්වාලීම සඳහා ඩියෝඩ්‍රන්ට් භාවිතා කිරීම, උණුසුම් පරිසරයන්ට නිරාවරණය වීමෙන් වැළකීම ආදී කටයුතු මගින් දහඩිය දැමීම පාලනය කරගත හැකිය. දහදිය දැමීමේ ගැටලුව දිගටම පවතිනවා නම් වෛද්‍යවරයා ලවා ඔබගේ ඖෂධ මාත්‍රාව වෙනස් කරගත යුතුය.
වේවිලීම
සමහර ඖෂධ නිසා සිරුරේ වෙව්ලීමක් ඇති විය හැකිය. මේ කාලසීමාවේදී කැෆේන් පානය කිරීම සීමා කළ යුතුය. ගැඹුරින් හුස්ම ගැනීම, භාවනා කිරීම වැනි ලිහිල් කිරීමේ අභ්‍යාස වල යෙදිය යුතුය. වෙව්ලීම දිගින් දිගටම පවතිනවා නම් වෛද්‍යවරයා හමු වී ඖෂධය මාරු කර ගත යුතුය.
කරකැවිල්ල
මෙය වළක්වා ගැනීම සඳහා අදාළ ඖෂධය ආහාර සමඟ ගැනීම කළ යුතුය. වාඩි වී සිට හදිසියේ නැගිටීම, ඇඳෙහි සිට හදිසියෙන් නැගිටීම වැනි ඉරියව්වල හදිසි වෙනස්කම් වළක්වා ගත යුතුය. මෙය කරකැවිල්ල අඩු කර ගැනීමට උපකාරී වනු ඇත. කරකැවිල්ල දිගටම පවතින්නේ නම් වෛද්‍යවරයා හමු විය යුතුය.
උපුටා ගැනීම: wellnessexpert


