නින්ද කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. කෙනෙකුගේ සෞඛ්‍යය රැක ගන්නත් හොඳ නින්දක් උපකාරී වෙනවා. හැබැයි නිදාගැනීමේදී සිදුකරන වැරදි සහ අඩුපාඩු නිසා විවිධ සෞඛ්‍ය සහ රූපලාවන්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ මේ පිළිබඳවයි.
මුනින් අතට නිදා ගැනීම
මුනින් අතට වැටී නිදා ගැනීමේදී මුහුණ කොට්ටය මත තදින් ස්පර්ශ වෙනවා. මෙය නිදා ගැනීමට හොඳ ඉරියව්වක් නෙවෙයි. මුහුණ කොට්ටයට තදවීම නිසා මුහුණේ රැළි වැටීමේ වේගය වේගවත් වෙනවා. ඒ වගේම තමයි පැත්තට හැරී නිදා ගැනීමෙනුත් මුහුණේ එක් පැත්තක් විතරක් මෙම තත්ත්වයට භාජනය වෙනවා. කොට්ටය මත හිසෙහි ඇති හිස්සොරි තෙල් සහ අපද්‍රව්‍ය තැවරී තිබෙනවා. මුහුණේ සම නිතරම කොට්ටය මත ස්පර්ශ වීමෙන් මෙම අපද්‍රව්‍ය මුහුණේද තැවරෙන අතර කුරුලෑ සහ බිබිලි හට ගැනීම වේගවත් කරවනවා. මේ නිසා සෑම විටම උඩු අතට නිදා ගැනීම සිදු කරන්න.
අවශ්‍ය පැය ගණන නිදා නොගැනීම
සාමාන්‍ය වැඩිහිටියකු දිනකට පැය 8 ක නින්දක්වත් ලබා ගත යුතුයි. පැය අටකට වඩා අඩුවෙන් නිදා ගැනීම නිසා ඔබගේ ශාරීරික ශක්තිය සහ මානසික ශක්තිය පිරිහෙනවා. ඇස් යට ගිලීම, ඇස් වටා කලු වීම, දෙනෙත් රතු වීම, වෙහෙසකාරී පෙනුමක් හිමි වීම වැනි ගැටලු හටගන්නවා. දිවා කාලය පුරා වෙහෙසුණු ඔබගේ සිරුරට සහ අවයව වලට විවේකය ලැබෙන්නේ නින්දේදිය. මේ නිසා ප්‍රමාණවත් තරම් නිදා ගැනීම ඉතා වැදගත්ය.
කොට්ට උර සේදීම අතපසු කිරීම
කොට්ට උර මත රාත්‍රිය පුරා හිසකෙස් වල ඇති තෙල්, හිස්සොරි, මැරුණු සෛල වැනි අපද්‍රව්‍ය තැවරෙනවා. ඉතින් මේවා නිතිපතා සෝදා පිරිසිදු කර ගත යුතුය. එමෙන්ම ඇඳ රෙදි මත සමේ මළ සෛලද එකතු වෙනවා. ඇඳ රෙදි සහ කොට්ට උර නිතර සේදිය යුත්තේ ඒ නිසාය. එමෙන්ම මෙම අපද්‍රව්‍ය මත දිනපතා ඔබගේ සිරුරේ ඇති දහඩිය තැවරීම නිසා වේගයෙන් බැක්ටීරියා වර්ධනය වීමක්ද සිදු වෙනවා. මේවා මත නිදා ගැනීමෙන් ඔබගේ සමේ විවිධ රෝග හටගත හැකියි.
නිදා ගැනීමට ආසන්න පැය කිහිපය ඇතුළත සිදු කරන දේවල්
ඔබ නිදා ගැනීමට පැයකට හෝ දෙකකට පෙර කැෆේන් අඩංගු තේ, කෝපි වැනි පානයන් පානය කරනවද? නින්ද ඔබ වෙත එන තුරු ජංගම දුරකථනය අතේ තබාගෙන සමාජජාලාවල සැරිසරනවාද? එසේත් නැතිනම් ඔබ ආහාර ලබා ගන්නේ නිදා ගැනීමට ආසන්න වූ විටද? මේ සියලු දේවල් වැරදි පුරුදු වේ. මේ වැරදි පුරුදු නිසා ඔබගේ නින්දට බාධා ඇති වන අතර, ඔබගේ සිරුරේ සෞඛ්‍ය මට්ටම කෙමෙන් කෙමෙන් පිරිහෙනවා.


