ඇඳ කියන්නේ අප නිදා ගන්නා විවේක ගන්නා ස්ථානයයි. ඉතින් එහි සුව පහසුව ගැන හොඳින් සැලකිලිමත් විය යුතුයි. හොඳ මෙට්ටයක් මත නිදා ගැනීම ඔබගේ යහපැවැත්ම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. විශේෂඥයන් පවසන විදියට සාමාන්‍ය මෙට්ටයක සාමාන්‍ය ආයු කාලය අවුරුදු අටක් පමණ වෙනවා. මෙට්ට නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන ක්‍රියාවලියේ ගුණාත්මක භාවය අනුව මෙම ආයු කාලයේ සත්‍ය අගය අඩු හෝ වැඩි වෙන්න පුළුවන්.
සමහර මෙට්ට සඳහා අවුරුදු 20 – 25 වැනි කාලයක් දක්වා වගකීම් සහතිකයක් ලැබෙනවා. මේවයෙ ගුණත්වය ඉතා ඉහළයි. හයිබ්‍රිඩ් මෙට්ට වල කල් පැවැත්ම අඩුයි. ඒවා වසර හයකට වතාවක්වත් මාරු කළ යුතුයි.
මෙට්ටයේ ගුණත්වය කල් ඉකුත් වීමත් සමග අඩුවෙලා යනවා. ඒ සමඟම මෙට්ටයේ සුව පහසුව සහ ගුණත්වය අඩුවීමෙන් ඔබගේ නින්දට හානි වෙනවා. මෙට්ටයක ආයු කාලය අවසන් වූ පසුව මෙට්ටයේ මැද එබුණු ස්වභාවයක් ඇති වනු දැකගන්න පුළුවන්.
මෙට්ටයේ ආධාරකයට හානි වුනාට පස්සේ එහි නිදා ගැනීම අපහසුතාවයන් ඇති කරනවා. වරින් වර නින්ද නැති වීම නිසා විවිධ සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා. සුව නින්දක් ලබා ගැනීමට නොහැකිවීමෙන් දවස පුරා තෙහෙට්ටුව දැනීම, සිරුරේ අප්‍රාණික බවක් දැනීම, දුර්වල ස්වභාවයක් දැනීම, තරබාරු වීම සහ හෘද රෝග වැනි සෞඛ්‍ය ගැටලු ඇති වීමට ද හේතු වෙනවා. ඔබ ඔබගේ නින්දේ සුවපහසු තාවය ගැනත් ගුණාත්මක භාවය ගැනත් වැඩි වශයෙන් කරදර විය යුත්තේ ඒ නිසාය. මේ නිසා ඔබගේ මෙට්ටය නිවැරදි කාලයට මාරු කරමින් ඔබගේ නින්දේ ගුණාත්මක භාවය වැඩි වර්ධනය කර ගන්න.
සුවපහසුව අහිමි වූ අඩු ගුණත්වයකින් යුතු මෙට්ටයක් මත නිදා ගැනීමෙන් මාංශපේශී වල තද ගතියක් සහ වේදනාවක් හට ගන්නවා. උදෑසන අවදි වූ පසුව බෙල්ල, උරහිස් වැනි ස්ථානවල තද වේදනාවක් දැනෙනවා නම් එයට හේතුව විය හැක්කේ ඔබගේ මෙට්ටයේ ගුණාත්මක භාවය අඩු වී තිබීමයි. කොන්දේ අමාරු සහ මෙට්ටයේ ගුණාත්මකභාවය අතර සෘජු සම්බන්ධතාවයක් ඇති බව සොයාගෙන තිබෙනවා.
මෙට්ටය පරණ වෙනකොට මෙට්ටයේ දූවිලි මයිටාවන් සහ බැක්ටීරියා සාන්ද්‍රනය වැඩි වෙනවා. කාලයත් සමග මේවා වේගයෙන් වර්ධනය වන අතර ඔබට අසාත්මිකතා ඇති කරවනවා. මෙට්ට ඇතුළත පුස් සහ දිලීර ඇති වන අතර ඇදුම රෝගය ඇතිකර වීමට එය හේතුවක් වෙනවා. ඔබගේ සමේ අසාත්මිකතා ඇති වන්නේ නම් සහ ඖෂධ ලබා ගත්තත් ඒවා සුව නොවන්නේ නම් එයට හේතුව විය හැක්කේද ඔබගේ මෙට්ටයයි.
නින්ද අතරතුර ඔබ එහා මෙහා හැරෙන විට ඇඳෙන් විවිධ ශබ්ද නැගෙනවා නම් එයට හේතුව වන්නේද මෙට්ටයේ ගුණාත්මක භාවය අඩු වී තිබීමය.
උපුටා ගැනීම: wellnessexpert


