in

කටුස්සන් පාට වෙනස් කරන්නේ පරිසරය හා ගැලපීමට නොවේ.

බෝදිලිමන් හෙවත් පාට වෙනස් කල හැකි  කටුස්සන් (chameleons) තම පාට විටින් විට වෙනස් කරන්නේ උන්ගේ සිරුර අවට පරිසරයෙන් වෙන් කර හඳුනා ගැනීම අපහසු කිරීමටයයි යන ජනප්‍රිය මතය සත්‍යක් නොවේ. එහෙත් උන් විටින් විට පාට වෙනස් කරන බව ඇත්තකි. එයට ඇත්ත හේතුව කුමක්ද? කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ Nakedscientist ව්‍යාපෘතිය ඒ ගැන මෙසේ විස්තර කරයි.

බොදිලිමන් වැනි කටුස්සන් සිය පාට විවිධාකාරයෙන් වෙනස් කරන්නේ පරිසරය හා ගැලපීමට ඇති අවශ්‍යතාවයක් නිසා නොව තම ආක්‍ර‍මණශීලී ආකල්ප, වාසභූමි සීමා ආරක්ෂා කිරීම වැනි අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් සහ ලිංගික ආශාවන් හුවා දැක්වීමේ සංඥාවක් වශයෙනි.

රසායනික ක්‍රියාවක් වන පාට වෙනස්වීම ඇත්ත වශයෙන්ම සිදුවන්නේ ශෛල තුල අණුක මට්ටමේදීය. වෙනත් අන්දමකින් කිව්වොත් කටුස්සෝ ක්ෂණික අණුක වෙනස් කම් කිරීමට දක්ෂයෝය. මෙවැනි කටුස්සෙකුගේ සම හොඳින් පරීක්ෂාකර බැලුවොත් එය ක්‍රෝමටොපෝරස් (chromatophores)යන නමින් හඳුන්වන විශේෂ ශෛල ස්තර කිහිපයකින් සමන්විත බව පෙනේවි. මේ වර්ගයේ ශෛල වලට අවශ්‍ය විටකදී වර්ණවත් විය හැකිය.

කටුසස්න්ගේ සම මතුපිට විනිවිද පෙනෙන සුළුය. මේ විනිවිද පෙනෙන සුලු ස්තරයට යටින් වවිධ වර්ණක ඉපදවිය හැකි නොයෙක් වර්ග වල ක්‍රෝමටොපෝරස් ශෛල තට්ටු පිහිටා තිබේ. මේ අතරින් සැන්තොපෝරස් (xanthophores) නමින් හැඳින්වෙන ශෛල විශේෂයට අවශ්‍ය විටදී කහපාට වර්ණක ප්‍ර‍ර්ශනය කළ හැක. ඊට යටන් පිහිටි රතු පැහැය ප්‍ර‍ර්ශනය කළහැකි ශෛල විශේෂය හඳුන්වන්නේ එරිත්‍රෝපෝරස් (erythrophores) යන නමිනි. ඊටත් යටින් පිහිටි ඉරිඩිපෝරස් (iridiphores) නම් ශෛල විශේෂයට නිල් පැහය ප්‍ර‍ර්ශනය කළ හැකිය. ඊටත් යටින් ඇති ස්තරය මෙලනොපෝරස් (melanophores) නමැති ශෛල විශේෂයෙන් යුක්ත වන අතර දුඹුරු පැහැයෙන් යුතු මෙලනින් වර්ණකය එමගින් ප්‍ර‍ර්ශනය කළ හැකිය.

එහෙත් ශෛලවල ඇති මේ හැකියාවන් යොදාගත් කටුස්සා අවශ්‍ය වූ විට විවිධාකාරයට තම පාට වෙනස් කරන්නේ කෙසේද?. ඇත්තටම එය සිදුවන්නේ ඉහතින් සඳහන් කළ ක්‍රෝමටොපෝරස් ශෛල වර්ග කටුස්සාගේ ස්නායු පද්ධතිය හා සම්බන්ධ වී තිබීම නිසාය. එමෙන් ම එම ශෛල කටුස්සාගේ සිරුරේ දිවෙන රුධිරයේ ඇති රසායනික වෙනස්කම් වලටද ප්‍ර‍තිචාරය දක්වයි. අවශ්‍ය විටදී වර්ණවත් වීම පිණිස අර කී ශෛල විශේෂ වලවර්ණක තැන්පත්ව ඇත්තේ ශෛල වල පිහිටි අගුළු දැමූ ක්ෂුද්‍ර‍මලු වැනි බහනයන් තුළය. එහෙත් කටුස්සාගේ  ස්නායු ඔස්සේ එන උචිත සංඥා වලට අනුව හෝ රුධිරයේ ඇතිවන රසායනික වෙනස්කම් වලට අනුව හෝ එම ක්ෂුද්‍ර‍මලු වල ඇති වර්ණක මුලු ශෛලය පුරා පැතිරෙයි. එය හරියට ශෛලය මත පාට ආලේප කිරීම වැනි ක්‍රියාවකි. එහෙත් විවිධ ස්තර වල පිහිටි ශෛල විශේෂ විවිධ වර්ණක නිපදවන බැවින් විනිවිද පෙනෙන සම තුලින් ස්තර සියල්ල එක විට පෙනෙන්නේ විවිධ පාටකලවම් වෙමින් ඇතිවෙන මොස්තරයක් ලෙසය. උදාහරණයක් වශයෙන් ගත්තොත් රතු සහ කහ වර්ණක ඇති ශෛළ එක්වර උත්තේජනය වූවිට කටුස්සාගේ හමේ පැහැය රඹ පැහැය ගනී. මෙසේ විවිධ ක්‍රෝමටොපෝරස් ශෛල විශේෂ යොදාගෙන හම වර්ණවත් කරගැනීම හරියට ශෛල වලට සමානව රූපවාහිනී තිරයක ඇති පික්සල් සියල්ල වවිධ වර්ණ වලින් උත්තේජනය කොට අපේ ඇසතුළ වර්ණවත් පින්තූරයක් ඇති කරනවා හා සමානය.

නිසංසලේ සාමකාමීව ඉන්නා විට මෙවැනි කටුස්සන්  මඳ කොල පැහැයකින් යුක්ත බව ඔබට දැක ගත හැකිය. එහෙත් තරහ ගිය විට ඌ කහ පැහැ විය හැකිය. ගැහැණු සතෙකු දුටු විට එවැනි කටුස්සන් තමන්ට හැකි හැම ආකාරයකම පාට වෛවර්ණයෙන් ප්‍ර‍ර්ශනය කරමින් ආදරය පෑමට සුදුසු මනෝභාවයක තමන් පසුවන බව අභිමත කටුස්සියට පෙන්වයි. පාට වෙනස් කිරීමේ මේ ක්‍රියාවලිය බෝදිලිමුන් වැනි කටුස්සන්ට පමණක් සීමා වූවක් නොවේ. මේ හා සමානව තම සිරුරේ පාට වෙනස් කළ හැකි තවත් සතෙකි දැල්ලා. එනිසා කටුස්සන්ගේ හෝ දැල්ලන්ගේ පාට වෙනස්වීම තමන් සිටින පරිසරය අනුව හැඩ ගැසීමට අවශය වන නිසා සිදුවන දෙයක් නොව එම සතුන්ගේ සංනිවේදන අවශ්‍යතා නිසා සිදුවන දෙයකි.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ Nakedscientist ව්‍යාපෘතිය

උපුටා ගැනීම : thathu

What do you think?

Written by Mic

විශ්වය අපට මෙතරම් පුදුම තැනක් වන්නේ ඇයි?

අප වනාහි තරුදූවිලිය