in

බුදුරජාණන් වහන්සේගේ අෂ්ට මහා ප්‍රාතිහාර්යයන් විදහා දක්වන දුර්ලභ පාල (Pala) යුගයේ ශෛලමය කැටයම

ඇමරිකාවේ පෙන්සිල්වේනියා සරසවියේ පෙන් කෞතුකාගාරයේ (Penn Museum) ප්‍රදර්ශනයට තබා ඇති මෙම අගනා බුදු පිළිමය ක්‍රි.ව. 9 – 12 සියවස්වල ඉන්දියාවේ පාල (Pala) රාජ්‍ය සමයට අයත් විශිෂ්ට කලා නිර්මාණයකි.

මෙම කැටයමේ විශේෂත්වය වන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත්ම අවස්ථා අටක් (අෂ්ට මහා ප්‍රාතිහාර්යයන්) එකම නිර්මාණයක ඉතා සියුම් ලෙස කැටයම් කර තිබීමයි.

මධ්‍ය රූපය: මෙහි ප්‍රධාන වශයෙන් දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධගයාවේදී මාර පරාජය කර බුද්ධත්වයට පත්වීම සංකේතවත් කරන “භූමිස්පර්ශ මුද්‍රාවෙන්” (පෘථිවිය සාක්ෂියට කැඳවීම) වැඩසිටින අයුරුයි.

ප්‍රධාන රූපය වටා බුදුසිරිතේ සෙසු වැදගත් අවස්ථා 7ක් මෙසේ දැක්වේ:

  1. සිදුහත් උපත: ලුම්බිණියේදී මහාමායා දේවිය සල් ගසක් යට සිටින අයුරු.
  2. තව්තිසා දෙව්ලොව සිට වැඩම කිරීම: සංකස්ස පුරයට දෙව්ලොව සිට වැඩම කළ අවස්ථාව.
  3. සැවැත් නුවරදී පෑ මහා ප්‍රාතිහාර්යය: තීර්ථකයන් දමනය කිරීමට පෑ ප්‍රාතිහාර්යය.
  4. මහා පරිනිර්වාණය: පිළිමයේ ඉහළම කොටසේ කුසිනාරාවේදී සිදුවූ අපවත් වීම දැක්වේ.
  5. ප්‍රථම ධර්ම දේශනාව: බරණැස ඉසිපතනයේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීම.
  6. නාලාගිරි ඇතා දමනය කිරීම: රජගහ නුවරදී සිදුවූ ප්‍රාතිහාර්යය.
  7. වඳුරෙකු මී පැණි පූජා කිරීම: වෛශාලියේදී සිදුවූ විශේෂ අවස්ථාව.

ඓතිහාසික ශිලා ලේඛනය: මෙම පිළිමයේ පදමෙහි බෙංගාලි අක්ෂරයෙන්, සංස්කෘත භාෂාවෙන් ලියන ලද අතිශය වැදගත් බෞද්ධ ගාථාවක් කැටයම් කර ඇත:

“යේ ධර්මා හේතු ප්‍රභවා තේෂාං හේතුං තථාගතෝ හ්‍යවදත් | තේෂාං ච යෝ නිරෝධ ඒවං වාදී මහාශ්‍රමණඃ ||”

අර්ථය: “යම් ධර්මතාවෝ (ඵලයන්) හේතුවකින් හටගන්නේ ද, ඒ සඳහා බලපාන හේතුව තථාගතයන් වහන්සේ වදාළ සේක. එමෙන්ම එම හේතූන් නිරුද්ධ කිරීම (නැති කිරීම) පිළිබඳව ද මහා ශ්‍රමණයන් වහන්සේ මෙසේ වදාළ සේක.”

මෙම ගාථාව බුදුදහමේ හරය වන ‘හේතුඵල දහම’ (ප්‍රතීත්‍යසමුත්පාදය) ඉතා කෙටියෙන් පැහැදිලි කරයි.

පුරාණ බෞද්ධ උරුමයන් සහ කලා ශිල්ප පිළිබඳ උනන්දුවක් දක්වන පිරිස අතර බෙදා ගැනීමටත්, අපගේ ඉපැරණි ශිෂ්ටාචාරයේ ප්‍රෞඪත්වය වටහා ගැනීමටත් මෙය කදිම නිදසුනකි.

උපුටා ගැනීම: මුහුණු පොත (ශ්‍රී ලංකා පුරාවිද්‍යාව )

What do you think?

Written by Mic

අනුරාධපුර ඇතුළු නුවර කරන ලද කැණීම්