බොහෝ දෙනෙක්ට තියෙන, නමුත් ගොඩක් අය එළියට කියන්න අකමැති ප්‍රශ්නයක් තමයි කකුල් වල නහර ගැට ගැසීම. සරලවම කිව්වොත්, අපේ සමට යටින් තියෙන නහර (ශිරා) ඉදිමිලා, දඟර ගැහිලා, නිල් හෝ තද දම් පාටින් පේන්න තියෙන එකට තමයි මේ නම කියන්නේ.
සරල උදාහරණයක්:
මේක හරියට වතුර යන බටයක් පරණ වෙලා, තැනින් තැන පිම්බිලා, ඇකිලිලා තියෙනවා වගේ දෙයක්.
සිරුර ඇතුලේ මොකද වෙන්නේ? (වාහන තදබදයේ කතාව) ![]()
![]()
![]()
අපේ කකුල් වල ඉඳන් හදවතට අපිරිසිදු ලේ උඩට අරගෙන යන්න ඕනේ. මේක හරියට ලොකු කන්දක් උඩට වතුර පොම්ප කරනවා වගේ අමාරු වැඩක්. මොකද පොළොවේ ගුරුත්වාකර්ෂණයට විරුද්ධව තමයි මේ ලේ උඩට යන්න ඕනේ.
මේ වැඩේ ලේසි කරන්න අපේ නහර ඇතුලේ පොඩි දොරවල් (Valves) තියෙනවා. ලේ ටිකක් උඩට ගියාම, ඒ ලේ ආපහු පල්ලෙහාට එන එක වළක්වන්න මේ දොරවල් ඉබේම වැහෙනවා.
ගැටළුව:
හිතන්න පාරක වාහන උඩට යනවා. එක පාරටම වාහන පාලනය කරන සිග්නල් ලයිට් (Traffic lights) කැඩුනොත් මොකද වෙන්නේ? වාහන හිර වෙනවා නේද?
අන්න ඒ වගේ විවිධ හේතු නිසා මේ නහර ඇතුලේ තියෙන දොරවල් අබලන් වුනාම, උඩට ගිය ලේ ආපහු පල්ලෙහාට කාන්දු වෙනවා. එතකොට ඒ ලේ කකුල් වල එකතු වෙලා නහර පිම්බෙනවා. මේක තමයි “Varicose Veins” කියන්නේ.
මේක හැදෙන්න වැඩිපුර අවදානමක් තියෙන්නේ කාටද? ![]()
![]()
![]()
වයස: වයසට යනකොට අපේ නහර වල “දොරවල්” ස්වභාවිකවම දුර්වල වෙනවා.
ගර්භණී භාවය: බබා ලැබෙන්න ඉන්න අම්මලාගේ බඩේ ඇතිවන පීඩනය නිසා කකුල් වල නහර වලට බලපෑම් ඇති වෙන්න පුළුවන්.
රැකියාව: එක දිගට බොහෝ වේලාවක් හිටගෙන වැඩ කරන අය (උදා: ගුරුවරුන්, හෙදියන්, ආරක්ෂක නිලධාරීන්, රථවාහන පොලිස් නිලධාරීන්) සහ එක දිගට වාඩි වී සිටින අයට මේ අවදානම වැඩියි.
පවුල් ඉතිහාසය: අම්මාට හෝ තාත්තාට මේ තත්ත්වය තිබුනා නම් ඔබටත් හැදීමේ ඉඩක් තියෙනවා.
ශරීර බර වැඩිවීම: වැඩිපුර බර නිසා කකුල් වල නහර වලට අමතර පීඩනයක් එල්ල වෙනවා.
රෝග ලක්ෂණ මොනවාද? ![]()
සමහරුන්ට නහර පේන්න තිබුනත් කිසිම අමාරුවක් නැහැ. නමුත් තවත් අයට පහත ලක්ෂණ ඇති වෙන්න පුළුවන්:
කකුල් වල බර ගතියක් හෝ කැක්කුමක් දැනීම.
විශේෂයෙන්ම හවස් වන විට කකුල් ඉදිමීම.
නහර අවට සම කැසීම හෝ වියළි බව.
රාත්‍රියට කකුල් වල මස් පිඬු පෙරළීම.
ඒවගේම කකුලේ වළලුකර අසල හොඳ නොවෙන තුවාල ඇති වෙන්නත් මේක ප්‍රධාන කරුණක්.
එහෙම තුවාල අවොත් එක අඩු කරගන්න එක ලේසි වැඩක් නෙමේ.
ඒ නිසා ඒ මට්ටමට යන්න කලින් මේක සුව කරගන්න එක වඩාත් වැදගත්..
ගෙදරදී කරන්න පුළුවන් සරල දේවල් ![]()
එක ඉරියව්වක ඉන්න එපා: එක දිගට හිටගෙන හෝ ඉඳගෙන ඉන්න එපා. හැම පැය භාගයකට සැරයක්වත් පොඩ්ඩක් ඇවිදින්න.
කකුල් උස්සලා තියන්න: ඔබ නිදාගන්නා විට හෝ විවේක ගන්නා විට කොට්ටයක් තබා කකුල් දෙක ඔබේ හදවතේ මට්ටමට වඩා තරමක් උඩින් තබන්න. (එවිට ලේ පහසුවෙන් හදවත දෙසට ගලා යයි).
ව්‍යායාම: ඇවිදීම වගේ සරල ව්‍යායාම මගින් කකුල් වල මස් පිඬු ශක්තිමත් වී ලේ ගමනාගමනය පහසු කරයි.
පීඩන මේස් (Compression Stockings): වෛද්‍ය උපදෙස් මත, කකුල් වලට පිටතින් පීඩනයක් ලබා දෙන විශේෂ මේස් වර්ග පළඳින්න පුළුවන්. එමගින් නහර ඉදිමීම පාලනය කරනවා.
මේ තත්ත්වය ගොඩක් අමාරු නම් හෝ කකුලේ තුවාල ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හමුවෙන්න.
ලේසර් ප්‍රතිකාරය සහ වෙනත් ඔපරේෂන් වලින් මේක සුව කරන්න පුළුවන්
උපුටා ගැනීම : Lung Doctor ෆේස්බුක් පිටුව

