කැසවෙරි (Cassowary)
ඔයාලා දන්නවද ලෝකයේ ඉන්න භයානකම කුරුල්ලා කවුද කියලා? ඌ නිකන්ම කුරුල්ලෙක් නෙවෙයි, පෙනුමෙන් හරියටම ජුරාසික් පාර්ක් එකෙන් පැනලා ආපු වෙලෝසිරැප්ටර් (Velociraptor) ඩයිනසෝරයෙක් වගේ! මේ තමයි කැසවෙරි (Cassowary). ඕස්ට්‍රේලියාවේ සහ නිව්ගිනියාවේ වැසි වනාන්තරවල ඉන්න මේ සතාට ගිනස් වාර්තා පොත පවා දීලා තියෙන්නේ “ලෝකයේ භයානකම පක්ෂියා” කියන නමයි.
කවුද මේ කැසවෙරි?
බැලූ බැල්මට පැස්බරෙක් වගේ පෙනුනට මුන් අයිති වෙන්නේ වෙනමම කුලයකට.
විද්‍යාත්මක නාමය: Casuarius casuarius (මේ බහුලවම දකින්න ලැබෙන Southern Cassowary ගේ විද්‍යාත්මක නාමයයි)
කුලය (Family): Casuariidae (කැසුවාරිඩේ)
විශේෂත්වය: පැස්බරා, ඈමු, සහ කිවි වගේම මුනුත් පියාඹන්න බැරි, හැබැයි ප්‍රමාණයෙන් ඉතා විශාල “Ratite” ගණයට අයිති වෙන පක්ෂි විශේෂයක්.
1. ඇයි මුන් මේ තරම් දරුණු?
කැසවෙරි කියන්නේ ඉතාමත් ඉක්මනින් කේන්ති යන, තමන්ගේ සීමාවන් (Territory) ගැන මාර විදිහට හිතන සතෙක්. සත්ව විද්‍යාඥයෝ පවා මුන්ව හඳුන්වන්නේ “no Predicted” (කලින් කියන්න බැරි) හැසිරීම් තියෙන සතෙක් විදිහටයි. සාමාන්‍යයෙන් කුරුල්ලෙක් අපිට තර්ජනයක් කරන්නේ නැහැ කියලා හිතුවට, කැසවෙරියෙක් ඉස්සරහට ගියොත් ඌ ලෙහෙසියෙන් අඩියක් පස්සට ගන්නේ නැහැ. උන් සටන් කරන්නේ ජයග්‍රහණය වෙනකම්මයි.


2. මිනිස්සුන්ට ඇත්තටම පහර දෙනවද?
ඔව්, මුන් මිනිස්සුන්ට පහර දෙනවා වගේම ඒ ප්‍රහාර මාරාන්තික වෙන්නත් පුළුවන්. ඉතිහාසයේ කැසවෙරි ප්‍රහාර නිසා මිනිස්සු මියගිය අවස්ථා නිල වශයෙන් වාර්තා වෙලා තියෙනවා.
පහර දෙන්නේ කොහොමද?: මුන් පස්සට පැනලා, එකපාරටම හුළඟට අඩි කිහිපයක් උඩ පැනලා, තමන්ගේ කකුල් දෙකෙන්ම ඉදිරියට තමයි පයින් ගහන්නේ (Jump kick).
2019 අවුරුද්දේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කැසවෙරි කුරුල්ලෙක්ව සුරතලයට ඇති කරපු 75 හැවිරිදි පුද්ගලයෙක්ව, ඌ විසින්ම පයින් ගසා ඝාතනය කරපු පුවත ලෝකය පුරාම ලොකු කතාබහක් ඇති කළා. බොහෝ වෙලාවට මිනිස්සු මුන්ට කෑම දෙන්න හුරු කළාම, කෑම නැති වෙලාවට මුන් මිනිස්සුන්ව ලුහුබැඳලා ඇවිත් පහර දෙනවා.
3. අඟල් 4ක මාරාන්තික පිහිය (The Dagger Claw)
මුන්ට පියාඹන්න බැරි වුණාට මුන්ගේ කකුල් දෙක හරියට මාරාන්තික අවියක් වගේ. පාදවල මැද ඇඟිල්ලේ තියෙන නියපොත්ත අඟල් 4ක් (සෙන්ටිමීටර් 10ක්) විතර දිගයි. ඒක හරියටම තියුණු කතුරක් හෝ පිහියක් වගේ. මේ නියපොත්තෙන් එක පාරක් පයින් ගැහුවොත් මිනිහෙක්ගේ හෝ වෙනත් සතෙක්ගේ මස්පිඬු ඉරීලා, අභ්‍යන්තර ඉන්ද්‍රියයන්වලට බරපතළ හානි වෙන්න පුළුවන්.
4. හෙල්මට් එකක් වැනි හිස්කබල (The Casque)
මුන්ගේ ඔලුව උඩ තියෙන අමුතු තොප්පියක් වැනි කොටස දැකලා තියෙනවද? මේකට කියන්නේ Casque කියලා. කෙරටින් (Keratin – අපේ නියපොතු හැදිලා තියෙන ද්‍රව්‍යය) වලින් හැදිලා තියෙන මේ ස්වභාවික හෙල්මට් එක නිසා වනාන්තරය අස්සෙන් වේගයෙන් දුවද්දී ඔලුව ආරක්ෂා වෙනවා. ඒ වගේම උන් කෑගහනකොට එන අඩු සංඛ්‍යාත (low-frequency) ශබ්ද තරංග නිකුත් කරන්නත්, කැලේ අස්සේ සන්නිවේදනය කරන්නත් මේක උදව් වෙනවා කියලා විද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා.
5. ඔලිම්පික් මට්ටමේ දුවන්නෙක් සහ පීනන්නෙක්!
පෙනුමෙන් බරයි වගේ පෙනුනට (ගැහැණු සතෙක් කිලෝග්‍රෑම් 70කට වඩා බර වෙනවා), කැසවෙරියෙක්ට පැයට කිලෝමීටර් 50ක විතර වේගයෙන් ඝන කැලෑව අස්සෙන් උනත් දුවන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මුන් අඩි 7ක් විතර උඩ පනින්නත් දක්ෂයි. තව එකක්… මුන් නියම පීනන්නෝ! ලොකු ගංගා වගේම මුහුදේ පවා මුන් පීනපු අවස්ථා වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා මුන්ගෙන් බේරිලා දුවනවා කියන්නේ ලෙහෙසි වැඩක් නෙවෙයි.
6. අම්මා දාලා ගියාම පැටව් බලාගන්න තාත්තා!
කැසවෙරි පවුල් ජීවිතය හරිම අමුතුයි. බිත්තර දැමීමෙන් පස්සේ ගැහැණු සතා කෙළින්ම වෙන සහකරුවෙක් හොයාගෙන යනවා. ඊටපස්සේ දවස් 50කට වඩා බිත්තර රකින්නෙත්, පැටව් ලොකු වෙනකම් මාස 9ක් විතර උන්ව ආරක්ෂා කරලා කන්න බොන්න දෙන්නෙත් පිරිමි සතා (තාත්තා) විතරයි. මේ කාලෙට පැටව් රකින පිරිමි සත්තු හිතාගන්න බැරි තරම් දරුණු වෙනවා. ඔය කාලෙට ලඟටවත් යන්න හොඳ නැහැ.
කැසවෙරියෙක් ඉස්සරහට ආවොත් බේරෙන්නේ කොහොමද?
කවදාවත් දුවන්න එපා: උන්ට ඔයාට වඩා වේගයෙන් දුවන්න පුළුවන්. දුවන්න ගියොත් උන් පිටුපසින් පන්නාගෙන ඇවිත් පයින් ගහනවා.
පස්සට වෙන්න: සතා දෙස බලාගෙනම හිමින් හිමින් පස්සට යන්න.
ආවරණයක් සොයාගන්න: ලොකු ගසක්, පඳුරක් හෝ ලොකු ගලක් පිටුපසට වෙන්න. මුන්ට හරස් අතට පයින් ගහන්න අමාරුයි.
කෑම දෙන්න එපා: මිනිස්සු කෑම දෙන්න ගියාමයි මුන්ගේ ස්වභාවික බය නැති වෙලා පහර දෙන්න පුරුදු වෙන්නේ.
ඇත්තටම මුන් මිනිස්සුන්ට පහර දෙන්නේ උන්ගේ සීමාවට මිනිස්සු ආවම සහ උන්ට තර්ජනයක් දැනුනම විතරයි. හැබැයි ඉතින් ලෝකේ ඉන්න දරුණුම කුරුල්ලා ඉස්සරහට නම් යන්න එපා!
උපුටා ගැනීම : Unknown diary


