අපි පොඩි කාලේ බලපු කාටූන් වල, නැත්නම් ළමා කතාවල ඕනෑතරම් දැකලා තියනවා ඉබ්බෝ තමන්ගේ කටුව ගලවලා පැත්තකින් තියලා නිදාගන්නවා, නැත්නම් කටුව අතෑරලා පැනලා යනවා වගේ දේවල්. ඒක දැකලා අපේ ඔළුවලට ගියේ ඉබ්බන්ගේ, කැස්බෑවන්ගේ කටුව කියන්නේ උන් ආරක්ෂාවට ඇඳගෙන ඉන්න, ඕනම වෙලාවක ගලවන්න පුළුවන් “කබායක්” නැත්නම් “වෙනම ගෙයක්” කියලා.
හැබැයි ඔයා දන්නවාද? ඒක 100%ක්ම බොරුවක්!
කටුව කියන්නේ වෙනම එකක් නෙවෙයි, උන්ගේ ඇඟමයි!
ඇත්තම විද්‍යාත්මක කතාව තමයි, ඉබ්බෙක්ගේ හෝ කැස්බෑවෙක්ගේ කටුව (Shell) කියන්නේ උන්ගේ සිරුරේ අස්ථි පද්ධතියේම (Skeleton) කොටසක්. සරලවම කිව්වොත් උන්ගේ පිටකොන්ද (Backbone) සහ ඉල ඇට (Ribs) කාලයත් එක්ක එකතු වෙලා, පළල් වෙලා, එකට බද්ධ වෙලයි මේ ශක්තිමත් කටුව හැදෙන්නේ.
ඒ නිසා ඉබ්බෙක්ව කටුවෙන් ගලවනවා කියන්නේ, මිනිහෙක්ගේ පිටකොන්දයි ඉල ඇට ටිකයි ඇඟෙන් ගලවලා අයින් කරනවා වගේ වැඩක්! කටුව නැතුව ඉබ්බෙකුට තත්පරයක්වත් ජීවත් වෙන්න බැහැ.
උන්ට කටුවට හානියක් වෙද්දි රිදෙනවද?
ගොඩක් අය හිතන්නේ කටුව කියන්නේ අජීවී, කිසිම පණක් නැති ලී කැබැල්ලක් වගේ දෙයක් කියලා. හැබැයි ඒක වැරදියි. ඉබ්බාගේ කටුව ඇතුළේ ලේ නහර (Blood vessels) වගේම ස්නායු පද්ධතියක් (Nerves) ක්‍රියාත්මක වෙනවා.
ඒ නිසා කටුව උඩින් තට්ටු කරද්දී, සීරෙද්දී, නැත්නම් කටුව බිඳෙද්දී උන්ට ඒ හැම වේදනාවක්ම හොඳටම දැනෙනවා. හරියට අපේ නියපොත්තක් ගැලවුණාම දැනෙන වේදනාව වගේ එකක් උන්ට දැනෙනවා.
කටුව ඇතුළේ තියෙන්නේ මොනවාද?
ඉබ්බාගේ හෘද වස්තුව, පෙනහළු, බඩවැල් ඇතුළු හැම වැදගත් ඉන්ද්‍රියක්ම පිහිටලා තියෙන්නේ මේ කටුව ඇතුළේ. කටුව ඇතුළේ ඉඩ තියෙන්නේ උන්ගේ ඇඟේ ඉන්ද්රියලට විතරයි. උන් අනතුරක් දැක්කාම ඔළුවයි, කකුල් හතරයි කටුව ඇතුළට ගන්නේ උන්ගේ සම ලිහිල් නිසා ඇඟ ඇතුළටම ඒවා නමලා ගන්න පුළුවන් නිසයි. මිසක් කටුව ඇතුළේ උන්ට නිදාගන්න වෙනම කාමරයක් නැහැ!
ඉතින් මීට පස්සේ ඉබ්බෙක්, කැස්බෑවෙක් දැක්කාම උන් මේ උස්සගෙන යන්නේ වෙනම ගෙයක් නෙවෙයි, උන්ගේම “පිටකොන්ද” කියන එක අමතක කරන්න එපා
උපුටා ගැනීම: Unknown diary


