in

ඇමසන් වලට වඩා සිංහරාජය පැරණියි…

බොහෝ දෙනෙක් සිතන්නේ ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් ලෝකයේ පැරණිතම වනාන්තරය කියායි. නමුත් පිළිතුර වන්නේ නැහැ ඇත්තටම ඇමසන් වනාන්තරය අපේ සිංහරාජයට වඩා ගොඩක් ළාබාලයි.

අපේ සිංහරාජයේ ඉතිහාසය වසර මිලියන 150-200ක් පමණ අතීතයකට (ඩයිනෝසරයන් රජ කළ ජුරාසික් යුගයට) දිව ගියත්, ඇමසන් වනාන්තරයේ වයස ලෙස භූ විද්‍යාඥයින් ගණනය කර ඇත්තේ වසර මිලියන 55ක් පමණ කාලයක්. එනම්, ඇමසන් වනාන්තරය නිර්මාණය වීම ආරම්භ වන්නේ ඩයිනෝසරයන් පෘථිවියෙන් සම්පූර්ණයෙන්ම වඳ වී යාමෙන් පසුව ඇති වූ ඊයෝසීන යුගයේදීයි.

ඒ අනුව බලන විට, ඇමසන් වනාන්තරයේ ගස් වැවෙන්නටත් වසර මිලියන 100කට පෙර සිටම සිංහරාජය මේ පෘථිවිය මත පැවතී තිබෙනවා. ඇමසන් බිහිවන විටත් සිංහරාජය යනු අතිශය පරිණත, ජෛව විවිධත්වයෙන් පිරුණු වනාන්තරයක්.

මීට වසර මිලියන ගණනකට පෙර පෘථිවියේ අද අප දකින මහාද්වීප තිබුණේ නැහැ. ඒ වෙනුවට දකුණු අර්ධගෝලයේ තිබුණේ ගොන්ඩ්වානා නම් එකම දැවැන්ත සුපිරි මහාද්වීපයක් පමණයි. පසුකාලීනව මෙම මහාද්වීපය කැඩී වෙන් වී ඉන්දියාව, අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව වැනි භූමි කොටස් නිර්මාණය වුණා. සිංහරාජය කියන්නේ අන්න ඒ වෙන්වී ආ ගොන්ඩ්වානා භූමියේ එදා පැවති ප්‍රාථමික වනාන්තරවල ජීවමාන නටඹුමක්.

මිලියන ගණනක් වූ පෘථිවි පරිණාමීය ඉතිහාසය තුළ ලෝකය දරුණු අයිස් යුගයන් සහ දේශගුණික විපර්යාසයන් රැසකට මුහුණ දුන්නා. ඒ හේතුවෙන් ලෝකයේ තිබූ බොහෝ පැරණි වනාන්තර සම්පූර්ණයෙන්ම විනාශ වී ගියා. නමුත්, ශ්‍රී ලංකාව සමකයට ආසන්නව පිහිටා තිබීමත්, විශේෂිත භූගෝලීය පිහිටීමත් නිසා සිංහරාජයට ඒ කිසිදු විනාශයකින් තොරව අඛණ්ඩව නොනැසී පැවතීමට හැකි වුණා.

මීට වසර මිලියන 66කට පෙර පෘථිවියේ ගැටුණු දැවැන්ත ග්‍රාහකයේ බලපෑමෙන් ලෝකයේ දේශගුණය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඉන්පසුව අත්ලාන්තික් සාගරය පුළුල් වීමත් සමඟ දකුණු ඇමරිකානු මහද්වීපයට උණුසුම් සහ තෙතමනය සහිත දේශගුණයක් ලැබෙන්නට පටන් ගත්තා. මේ අලුත් දේශගුණයත් සමඟයි අද අප දකින ඇමසන් වැසි වනාන්තරය ක්‍රමයෙන් ගොඩනැගුණේ.

ඇමසන් වනාන්තරය වර්ග කිලෝමීටර මිලියන 5.5ක පමණ අතිවිශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී තිබෙනවා. එය ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාව වගේ 80 ගුණයක් පමණ විශාලයි. සිංහරාජය ඊට සාපේක්ෂව ඉතාමත් කුඩා කැලෑ රොදක් පමණයි. නමුත් ලෝකයේ පැරණිතම සහ පරිණාමීය ඉතිහාසය අතින් ගත් විට ඇමසන් වනාන්තරයට අපේ සිංහරාජය අසලින්වත් තැබිය නොහැකියි.

ලෝකයේ තියෙන ලොකුම දේ හැමවිටම වටිනාකමින් වැඩිම දේ වෙන්නේ නැහැ. ප්‍රමාණයෙන් කොච්චර කුඩා වුණත්, අපේ රටේ තියෙන මේ සිංහරාජය කියන්නේ මුළු ලෝකයටම අයිති මිල කළ නොහැකි ජීවමාන පොසිලයක්. මේ පුංචි වනාන්තර කෑල්ල කොච්චර වටිනවද කියලා දැන් ඔබට හිතෙනවා ඇති නේද?

උපුටා ගැනීම : අතැඹුල

What do you think?

Written by Mic

අහුවෙන ඕනෑම සතෙක්ව විනාඩි කිහිපයකින් ඇටසැකිළි කරන “ලක්ෂ 20ක මරණයේ සේනාව”

පියාසර කරන ගුවන් යානාවලට සැබවින්ම අකුණු වදිනවාද?