ස්කොට්ලන්තයේ විලක් පතුලේ සැඟවී තිබූ කෘතිම දූපතක්, සුප්‍රසිද්ධ ස්ටෝන්හෙන්ජ් (Stonehenge) ස්මාරකයටත් වඩා පැරණි බව පුරාවිද්‍යාඥයන් විසින් අනාවරණය කරගෙන තිබේ. දැව සහ ගල් භාවිතයෙන් මිනිසා විසින් නිර්මාණය කරන ලද මෙම කුඩා දූපත හෙවත් ‘ක්රැනොග්’ (Crannog) වර්ගයේ ව්‍යුහය, මීට වසර 5,000කට පෙර එනම් නව ශිලා යුගයේදී ඉදි කර ඇති බව පර්යේෂණ මගින් සනාථ වී ඇත. දශක ගණනාවක් තිස්සේ ස්කොට්ලන්තයේ මෙවැනි දූපත් යකඩ යුගයට අයත් බව විශ්වාස කළද, ලුවිස් දූපතේ (Isle of Lewis) පිහිටි මෙම සොයා ගැනීමත් සමග එම ඉතිහාසය තවත් වසර දහස් ගණනක් ඈතට ගමන් කර තිබේ.
මුලින්ම අඩි 75ක් පමණ පළල වටකුරු ලී වේදිකාවක් ලෙස ඇරඹි මෙම දූපත, පරම්පරා ගණනාවක් තිස්සේ ගල් සහ ලී ස්ථර එකතු කරමින් විශාල කර ඇති බව පෙනී යයි. දූපත සහ ගොඩබිම සම්බන්ධ කරමින් ඉදි කර තිබූ ගල් සහිත මාවතක්ද හමු වී ඇති අතර, එහි තිබී හමු වූ මැටි බඳුන් කැබලි සහ ආහාර අවශේෂ මගින් සනාථ වන්නේ මෙය හුදෙක් වාසස්ථානයකට වඩා චාරිත්‍ර වාරිත්‍ර හෝ ප්‍රජා උත්සව පැවැත්වූ වැදගත් ස්ථානයක් වූ බවයි. ඩ්‍රෝන තාක්ෂණය සහ දිය යට කැමරා භාවිතයෙන් නිපදවූ ත්‍රිමාණ ආකෘති හරහා සිදු කළ මෙම ගවේෂණය, වසර දහස් ගණනක් තිස්සේ විල් පතුලේ සැඟවී තිබූ රහස් රැසක් ලොවට හෙළි කිරීමට සමත් වී ඇත.
උපුටා ගැනීම :Bee3


