in

ලංකාවේ සුලභව දක්නට ලැබෙන අළුහන් ගැන විමසා බලමු 

සිංහලෙන් අළුහන් ලෙස හඳුන්වන මෙම රෝගය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Pityriasis Versicolor නමිනි. මෙය දිලීරයක් එසේත් නැත්නම් පුස් වර්ගයක් නිසා සමේ ඇතිවන රෝගී තත්ත්වයක් වන අතර ලාංකිකයන් අතර ඉතා සුලභ වේ. මෙහිදී පහත පින්තුරයේ දක්වා ඇති පරිදි සමේ වෙනස් පැහැයක් සහිත ලප මතු වන අතර එනිසා රුපලාවන්‍යමය වශයෙන් කරදරකාරී රෝග තත්ත්වයකි. ඔබට අධික ලෙස දහදිය දමයි නම් එය අළුහන් ඇති වීමේ හැකියාව තවදුරටත් ඉහල නංවයි.

මෙම ලිපිය මගින් අපි අළුහන් ඇති වීමට හේතු, රෝග ලක්ෂණ, අළුහන් වලක්වා ගන්නා ආකාරය සහ ප්‍රතිකාර ක්‍රම පිලිබඳ සරලව විමසා බලමු.

අළුහන් යනු කුමක්ද?

අළුහන් යනු සමේ මතුපිට ස්ථරවල ඇති වන දිලිර එසේත් නැත්නම් පුස් මගින් ඇති වන රෝගයකි. මෙය ඇති කරන්නේ Malassezia furfur නමැති දිලීරයක් විසිනි. මෙම දිලිරය සමේ ස්වභාවිකව දක්නට ලැබෙන දිලීරයක් වන අතර ඇතැම් තත්ත්ව යටතේ වැඩිපුර වර්ධනය විය හැකිය. අළුහන් නමැති රෝග තත්ත්වය දක්වා වර්ධනය වන්නේ එලෙස දිලිරය සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර සම මත වර්ධනය වීම නිසාවෙනි.

අළුහන් ඇති වීමට බලපාන සාධක මොනවාද?

ඉහත සඳහන් කල පරිදි Malassezia නම් දිලිරය වැඩිපුර වර්ධනය වීම නිසා අළුහන් ඇති වේ. එම දිලිරය වැඩිපුර වර්ධනය වීමට බලපාන්නේ,

  1. ශ්‍රී ලංකාව වැනි රටවල පවතින උණුසුම් සහ තෙත් කාලගුණය 
  2. අධික ලෙස දහදිය දැමීම – එමගින් දිලිරයට වැඩීමට අවශ්‍ය තෙතමනය ලැබීම සිදු වේ
  3. තෙල්මය සම – දිලිරය ගුණනය වීමට උපකාර වේ 
  4. ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුබල වීම – සම අසාදන ඇති වීමට නැඹුරු කරයි 
  5. හෝමෝන වෙනස්කම් – නව යොවුන් වියේ පසු වන පිරිස් අතර අළුහන්  සුලභ වීමට හේතුවේ

රෝග ලක්ෂණ 

මෙම තත්ත්වයේදී,

  • දුර්වර්ණ වූ ලප මතු වීම – මේවා සුදු, දුඹුරු, කළු, රෝස පැහැති ලප ලෙස මතු විය හැකි අතර පපුව, පිට, බෙල්ල හා ඇත යනාදී ස්ථානවල සුලභව ඇති වේ.
  • කැසීම – තෙතමනය සහිත විට හා දහඩිය දැමු විට වැඩිපුර කැසීම ඇති වේ
  • කසන විට රුපයේ පරිදි සමේ කඩතොළු වීම් ඇති වීම 

මෙම ලප අව්වට නිරාවරණය වූ පසු වැඩිපුර දක්නට ලැබෙන අතර, ඊට හේතුව අව්ව නිසා වටේ ඇති සම කළු පහ ගැන්වුණත් මද ඇති ලපයේ පැහැය වෙනස් නොවී සුදු පැහැයෙන් පැවතීමයි.

රෝගය හඳුනාගන්නේ කෙසේද?

මෙය ඉතා සරලව ලප දෙස බැලීම හෙවත් නිරීක්ෂණය මගින් හඳුනා ගත හැකි අතර, අවශ්‍ය නම් සම මදක් සූරා ලබා ගත් සාම්පල(Skin Scrapings) යැවීම මගින් අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කර වුවද රෝගය තහවුරු කල හැකිය.

ප්‍රතිකාර ක්‍රම 

අළුහන් සඳහා දිලිර විනාශ කල හැකි ක්‍රීම් වර්ගෂැම්පු වර්ග, සහ ඇතැම් අවස්ථාවල දරුණු ලෙස රෝගය පැතිරී ඇතිනම් බොන බෙහෙත් වුවත් වෛද්‍යවරුන් විසින් නියම කරනු ඇත. මේවාහි දිලිර විනාශ කල හැකි Clotrimazole, Miconazole, Selenium sulfide හෝ Ketoconazole වැනි ඖශධයක් අඩංගු වේ.

අළුහන් ඇති වීම වලක්වා ගන්නේ කෙසේද?

අළුහන් වලක්වා ගැනීමට සම පිරිසිදුව තබා ගැනීම ඉතා වැදගත් වේ. ඒ සඳහා,

  • නෑමට පසු සහ දහඩිය දැමු පසු හැකි ඉක්මනින් සම වියලා ගන්න 
  • ඇඟට පහසු සැහැල්ලු, වාතය ඇතුලට ගමන් කල හැකි ඇඳුම් තෝරා ගන්න. ශ්‍රී ලාංකික කාලගුණයට Cotton ඇඳුම් වඩාත් ගැලපෙයි.
  • නිතර ආසාදනයට ලක්වේ නම් වෛද්‍ය උපදෙස් මත සුදුසු ආලේපයක්(ෂැම්පු, සබන් වැනි) නිතර ගලවන්න.
  • තුවා සහ ඇඳුම් පුද්ගලයන් අතර හුවමාරු කර ගැනීමෙන් වලකින්න
  • ප්‍රතිශක්තිය වැඩෙන ආහාර සහ ව්‍යායාම වල නිරත වන්න 

අළුහන් පුද්ගලයන් අතර බෝ වීම සිදු වනවාද?

නැත. මෙය බෝවන රෝගයක් නොවන අතර සමේ ස්වභාවිකව වාසය කරන දිලිර වැඩිපුර ගුණනය වීම නිසා ඇති වන රෝගයකි.

අවසානය 

අළුහන් යනු ඉතා සුලභ, නමුත් පාලනය කල හැකි රෝග තත්ත්වයකි. රෝගය ඇති වන ආකාරය තේරුම් ගැනීමෙන් සහ නිසි පරිදි වලක්වාගැනීමේ ක්‍රම අනුගමනය කර ඔබට මෙම රෝගය ඇති වීම වලක්වා ගත හැකිය. නිරෝගී සමක් ඔබේ නිරෝගිබාවය පිළිබිඹු වන ප්‍රථම අංගයයි. එය ලස්සනට පවත්වා ගැනීමට හැකි සම විටම කැප වන්න.  

උපුටා ගැනීම: betterlife

What do you think?

Written by Mic

ලෝකයේ උසම ස්ථානය වන එවරස්ට් කදුමුදුන ගැන දැනගනිමු

විශ්මිත සත්ව ලෝකයේ මේ විශ්මිත නිර්මාණ ගැන ඔබ මින් පෙර දැන සිටියාද..?