වසර 9,500කට පමණ පෙර තනන ලද ආදාහන චිතකයක් අප්‍රිකාවෙන් සොයාගෙන තිබෙනවා. එය පුරාණ මානව ප්‍රජාවන්ගේ සංකීර්ණත්වය පිළිබඳ නවතම අවබෝධයක් ලබා දෙන සොයාගැනීමක් ලෙස දැක්විය හැකියි.
උතුරු මලාවි හි හෝරා කන්ද (Mount Hora) පාමුල පිහිටි ගල් ගුහාවක තිබී සොයාගත් මෙම චිතකය, වැඩිහිටි දේහයක් අඩංගු ලොව පැරණිතම චිතකය ලෙසත්, අප්‍රිකාවෙන් තහවුරු වූ පැරණිතම චේතනාන්විත ආදාහනය ලෙසත් සැලකෙන බව පර්යේෂකයෝ පවසනවා. එමෙන් ම, අප්‍රිකානු දඩයම්-එකතු කරන්නන් හා සම්බන්ධ බවට හඳුනාගත් පළමු චිතකය වන්නේ ද මෙයයි.
මෙම ස්ථානයේ 2017 සහ 2018 වසරවල සිදුකළ කැණීම්වල දී අළු, අඟුරු සහ අවසාදිත ස්ථර සමඟින්, උස මීටර් 1.5කට (අඩි 5ක් පමණ) වඩා අඩු වැඩිහිටි කාන්තාවකගේ බවට සැලකෙන මිනිස් අස්ථි කැබලි 170ක් පොකුරු දෙකක් ලෙස සොයාගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, එම කාන්තාවගේ හිස්කබල සොයාගැනීමට නො හැකි වූ අතර, සිරුර පුළුස්සා දැමීමට පෙර එහි ඇතැම් අස්ථි සන්ධිවලින් වෙන් කර ඇති බවත්, මස් ඉවත් කර ඇති බවත් අස්ථි මත ඇති කැපුම් සලකුණු මගින් ඉඟි පළ ව තිබුණා.
“මෙම දේහයන් සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් හෝ මිනී මස් අනුභව කිරීමක් (cannibalism) සිදු වූ බවට සාක්ෂි නොමැති” බව මෙම අධ්‍යයනයට නායකත්වය දුන් ඔක්ලහෝමා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජෙසිකා සෙරෙසෝ-රෝමන් පවසනවා. ඒ වෙනුවට, ඇය පවසන්නේ ශරීරයේ කොටස් ඉවත් කරන්නට ඇත්තේ අවමංගල්‍ය චාරිත්‍රයක කොටසක් ලෙස, සමහරවිට සමරු සිහිවටන ලෙස තබා ගැනීමට විය හැකි බවයි.
මෙම අධ්‍යයනයේ සම කතුවරියක වන යේල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජෙසිකා තොම්සන් පවසන්නේ, මෙවැනි සිරිත් විරිත් වර්තමානයට ගැළපෙන බවක් නො පෙනුණ ද, මිනිසුන් තවමත් හිසකෙස් රොදවල් හෝ ඥාතීන්ගේ භස්මාවශේෂ අර්ථවත් ස්ථානයක විසුරුවා හැරීම සඳහා තබාගැනීමට සමාන ක්‍රියාවක් බවයි.
පර්යේෂකයන්ට අනුව, මෙම ගල් ගුහාව වසර 16,000ක සිට 8,000කට පෙර කාලය දක්වා භූමදානය කිරීම් සිදුකළ ස්වභාවික ස්මාරකයක් ලෙස භාවිත කර ඇති බව පෙනෙනවා. එහි තිබී සම්පූර්ණ අස්ථි පද්ධති මෙන් ම, විවිධ පුද්ගලයන්ට අයත් ඉතා කුඩා අස්ථි කොටස් එකතු ද හමු වී තිබෙනවා.
උපුටා ගැනීම : දුටු නොදුටු ලෝකය( මුහුණු පොත )


