ගිනි ගහන කාන්තාරයක් මැද කරන්ට් එකත් නැතිව, හැමතිස්සෙම සෙල්සියස් අංශක 30ක (30°C) නියමිත සිසිලසක් තියෙන ගෙදරක ජීවත් වෙන්න ලැබුණොත් කොහොමද? මිනිස්සු වායුසමීකරණ යන්ත්‍ර (A/C) හොයාගන්නත් ගොඩක් කාලෙකට කලින්, පුංචි වේයෝ (Termites) තමන්ගේ තුඹස ඇතුළේ කිසිම විදුලියක් නැතිව වැඩ කරන සුපිරි A/C පද්ධතියක් නිර්මාණය කරලා ඉවරයි!
වේයෝ කියන්නේ සත්ව ලෝකයේ ඉන්න අතිදක්ෂ ඉංජිනේරුවෝ පිරිසක්. අධික රස්නය තියෙන ප්‍රදේශවල ඔවුන් හදන උස තුඹස්වල පුදුමාකාර වාතාශ්‍රය ලැබෙන පද්ධතියක් (ventilation system) තියෙනවා. තුඹසේ උඩ තියෙන උස කොටස් හරියට චිමිනි (chimneys) වගේ ක්‍රියාත්මක වෙනවා. තුඹස ඇතුළේ ඉන්න ලක්ෂ ගණනක් වේයන්ගෙන් සහ ඔවුන් වවන දිලීර (fungi) වගාවන්ගෙන් පිටවෙන රස්නය ස්වභාවිකවම ඉහළට ගිහින් තුඹසේ උඩ තියෙන සිදුරුවලින් පිටවෙලා යනවා. මේ උණුසුම් වාතය පිටවෙලා යනකොට, තුඹසේ යට තියෙන සිදුරුවලින් පිරිසිදු සිසිල් වාතය ඇතුළට ඇදලා ගන්නවා.
දහවල් කාලයේදී ඉරේ රස්නයත් එක්ක මේ ක්‍රියාවලිය සිද්ධ වෙලා තුඹස ඇතුළ නිසි උෂ්ණත්වයක සහ තෙතමනයක පවත්වා ගන්නවා. රෑට මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට සිද්ධ වෙනවා. මේ වේයන්ගේ තාක්ෂණය කොයිතරම් සාර්ථකද කියනවා නම්, සිම්බාබ්වේ (Zimbabwe) රටේ තියෙන ලෝක ප්‍රසිද්ධ “Eastgate Centre” කියන දැවැන්ත ගොඩනැගිල්ල හදලා තියෙන්නෙත් කිසිම A/C එකක් පාවිච්චි කරන්නේ නැතිව මේ වේයන්ගේ තාක්ෂණයෙන් ගොඩනැගිල්ල සිසිල් වෙන්නයි!
උපුටා ගැනීම :Beyond Imagination – නොසිතූ ලොවක්


