in

මරණීය උපත්..

ඔන්න අදනම් මම කියන්න යන්නෙ ටිකක් අමුතු විදිහෙ කතාවක්..මීට අවුරුදු දෙකකට කලින් මේ ගැන මම ලිව්වත්, මේ දවස් වල ගොඩක් අයගෙ වැරදි වැටහීම් නිසා මේ වතාවෙනම් මම මේක සවිස්තරාත්මකව ලියන්න හිතුවා..මං ඔයාගෙන් පටන්ගනිද්දිම අහන ප්‍රශ්නෙ තමයි, ඔයා දැකලා තියනවද සමහර අවස්ථා වල නිල් පාටින් දිලිසෙන පියාඹන සතෙක් කැරපොත්තන්ව උස්සගෙන යනවා..එහෙම දැකලා තියනවනම් අද අපි කතාකරන්න යන්නෙ අන්න ඒක පිටිපස්සෙ තියන සැඟවුන කතාව ගැන..මේ වෙද්දි ඔයා මූණ දීලා තියන නරකම දේවල් කොච්චරද කියලා ඔයාට මතකවත් නැතුව ඇතිනේ..හැබැයි මාව විශ්වාස කරන්න පුතා..මේ වෙනකම් ඔයා මූණ දීපු අවාසනාවන්තම දේත් මේ තරම් අවාසනාවන්ත නෑ..ඉතින් අද මම මේ කියන්න යන්නෙ ස්වභාවධර්මයේ අද්විතීයම නමුත් බයානකම නිර්මාණයක් වෙන, විද්‍යාත්මකව Ampulex compressp විදිහට හඳුන්වන Emerald Wasp හෙවත් “මරකත බඹරා” ගැන..

මරණෙකුයි උපතකුයි එකවර සිද්දවෙන්න පුළුවන්ද..? ඔව් දරුවෝ..ඒක අනිවාරෙන්ම වෙනවා..හැබැයි ඒක වෙන්නෙ මෙන්න මෙහෙමයි..මේ Emerald Wasp කියලා කියන්නෙ බඹර විශේෂයක්..සමහරු මෙයාට නිල් දෙබරා කියලා කිව්වත් ඇත්තටම මෙයා අයිති වෙන්නෙ බඹර විශේෂයට..ඒ වගේම මෙයාගෙ ආහාර වෙන්නෙ Sugary liquids වර්ග..සරලවම කිව්වොත් Nectar ( මල් පැණි ) වගේ දේවල්..ඒ වගේම මේ අය හුදකලා බඹර විශේෂයක්..කොහොම උනත් මේ අපූරු බඹර විශේෂය එක දෙයක් නිසා ගොඩක් සුවිශේෂී වෙනවා..ඒ තමයි මොවුන්ගෙ අසාමාන්‍ය ප්‍රජනන ක්‍රියාවලිය..තව දුරටත් පැහැදිලි කරොත් Emerald wasp ගැහැණු සතෙක් බිත්තර දාන්න ආසන්න කාලයට ඇවිත් ඉන්නවා කියලා ඔයා හිතන්නකෝ..මේ වෙලාවට එයාගෙ එකම කාර්ය තමයි තමන්ගෙ යටි අරමුණ වෙනුවෙන් සක්වල පීරලා හරි කැරපොත්තෙක්ව හොයාගන්න එක..ඉතින් කොහොම හරි හොයලා හොයලා කැරපොත්තෙක්ව දැක්ක ගමන් ඊලඟට මෙයා කරන්නෙ ඒ කැරපොත්තාව අල්ලගන්න එක..ඉතින් මරණවද..? අපොයි නෑ දරුවෝ..කැරපොත්තාව අල්ලගත්ත ගමන් මේ බඹරා කරන්නෙ කැරපොත්තාගෙ හිස සිදුරු කරලා මොළයට හානි කරන එක..ඒකට හේතුව මම මෙහෙම පැහැදිලි කරන්නම්කෝ..

මේ බඹරා කැරපොත්තාට පුංචි සැත්කමක් වගේ දෙයක් කරලා මොළේ අකර්මණ්‍ය කරලා කකුල් වලටත් දරුණු විදිහට තුවාල කලාට පස්සෙත් කැරපොත්තා මැරෙන්නෙනම් නෑ..හැබැයි අංශභාග තත්වයට පත්වෙනවා..ඉතින් එයාට එයාගෙ කකුල් හොලවන්නවත් බැරුව යනවා..ඊටපස්සෙ මේක අවස්ථාව කරගන්න බඹරා ඊලඟට කරන්නෙ කැරපොත්තාගෙ ඔළුවෙ පිහිටලා තියන ඇන්ටනා වලින් අල්ලලා කැරපොත්තාව ගුලක් ඇතුලට ඇදගෙන යන එක..අවාසනාව කොච්චරද කියනවනම් බඹරාට අවනත වෙනවා හැර වෙන කිසිම විකල්පයක් කැරපොත්තාට නැතුව යනවා..කොහොම හරි අදාල තැනට අරගෙන ගියාට පස්සෙ ඊලඟට මෙයා කරන්නෙ කැරපොත්තාගෙ ඇඟේ එකම එක බිත්තරයක් දාලා ගුලෙන් එලියට ඇවිත් ගුල වහලා දාන එක..ඉතින් දරුවෝ, ඔන්න දැන් එයාගෙ කාර්යභාරය ඉවරයි..මේ විදිහට දවස් කිහිපයක් ගතවෙලා ගියාට පස්සෙ අර බිත්තරෙන් ඔන්න බඹර කීටයෙක් එලියට එනවා..ඒ විදිහට එළියට එන කීටයා ඊලඟට කරන්නෙ කැරපොත්තාගෙ ශරීරය සිදුරු කරගෙන සිරුර ඇතුලට යන එක..ඒ ගිහිල්ලත් නිකන් ඉන්නෙනම් නෑ..ඊලඟට මේ කීටයා කරන්නෙ කැරපොත්තාගෙ අභ්‍යන්තර අවයව ටිකෙන් ටික කන එක..මෙතන තියන දරුණුම දේ තමයි, මේ සියල්ලම වෙන්නෙ තවමත් කැරපොත්තා පණ පිටින් ඉද්දිම වුන එක..සරලවම කිව්වොත් මේ පරපෝෂිත බඹර විශේෂයක් වෙන Emerald wasp සතුන් ඔවුන්ගෙ ධාරකයෙක් විදිහට කැරපොත්තාවම තෝරගන්න ප්‍රධානම හේතුව තමයි, කැරපොත්තා කියන්නෙ ආහාර නැතුව දින 30 ක්, ජලය නැතුව සතියක් පමණ කල් නොමැරී ජීවත් වෙන්න තියන හැකියාව..ඒ හේතුව නිසා දින ගණනාවක් ගියත් නරක් නොවෙන පණ ගැහෙන ආහාරයක් කීටයාට දෙන්න මේ බඹරුන්ට හැකියාවක් ලැබෙනවා..ඉතින් මෙන්න මෙතනදි තමයි කැරපොත්තාට ස්වභාවධර්මයෙන් ලැබුන ආශිර්වාදය ශාපයක් බවට පත්වෙන්නෙ..කොහොම හරි මේ කීටයා දින ගණනාවක් කටෝර වද වේදනා විඳපු කැරපොත්තාව සම්පූර්ණයෙන්ම ආහාරයට අරන් ඉවර වුනාට පස්සෙ කැරපොත්තාගෙ සිරුර පසාරු කරගෙන පිටත ලෝකයට ඇවිත් ස්වභාවධර්මයත් එක්ක එකතු වෙනවා..ඉතින් මෙන්න මෙහෙම තමයි කැරපොත්තගේ මරණින්, මරකත බඹරෙක් උපදින්නෙ..හැබැයි ඉතින් ඊටපස්සෙත් අඳුරු මායාවක් වගේ මේ ස්වභාවික ක්‍රියාවලිය දිගින් දිගටම අඛණ්ඩව ස්වභාවධර්මයේ සිද්දවෙනවා..🍂

සටහන – Shan Kottegoda✍🏼

කතෘ අයිතිය සුරකින්න 🚫

What do you think?

Written by Mic

කූඹි කන්නෝ..

ශ්වේත වර්ණ..