“Grootfontein” කියන ප්‍රදේශය කිට්ටුව ගොවියෙක් තමන්ගේ කුඹුර හානකොට, එයාගේ නගුල මොකක හරි තද දෙයක වැදිලා නතර වුණා.
එතන තිබුණේ මොකක්ද කියලා බැලුවම, පොළොව මතුපිටට ටිකක් යටින් තිබුණු ටොන් 60ක් විතර බර ලොකු යකඩ ගුලියක් තමයි එයාට හම්බවෙලා තිබුණේ. මේක තමයි ලෝකේ මෙතෙක් හම්බවුණු ලොකුම උල්කාපාතය. ඒ වගේම මේක පෘථිවි මතුපිට තියෙන, ස්වභාවිකව හැදුණු ලොකුම යකඩ කෑල්ල විදිහටත් සලකනවා.
මේකේ වැඩිපුරම තියෙන්නේ යකඩ, හැබැයි සෑහෙන්න නිකල් (Nickel) ප්‍රමාණයකුත් තියෙනවා. මේක නිකන් රවුම් බෝලයක් වගේ නෙවෙයි, අඩි 9ක් දිග, අඩි 9ක් පළල සහ අඩි 3ක් විතර ගනකම තියෙන පැතලි තට්ටුවක් වගේ එකක්.
මේ උල්කාපාතය කුඩු නොවී අදටත් මේ විදිහටම තියෙන්න හේතුව ඒකේ තියෙන ඔය පැතලි හැඩය වෙන්න ඇති කියලා හිතනවා. සාමාන්‍යයෙන් උල්කාපාතයක් කෙලින්ම ඇවිත් හයියෙන් පොළොවේ වැදෙනවා වෙනුවට, මේකේ තියෙන පැතලි හැඩය නිසා වතුර උඩ ගලක් ලිස්සලා යනවා වගේ වායුගෝලයේ ගැටිලා වේගය අඩුවෙලා තමයි වැටිලා තියෙන්නේ. ඒකයි මේක වැටුණු තැන ලොකු වළක් (crater) හැදිලා නැත්තේ. විද්‍යාඥයෝ හිතන්නේ මේක අවුරුදු 80,000කට කලින් වගේ තමයි පොළොවට වැටෙන්න ඇති කියලා.
තවත් විශේෂම දේ තමයි, මේක කවදාවත් තිබුණු තැනින් හෙල්ලුවෙවත් නැහැ. කෞතුකාගාරයකටවත් වෙන කොහේටවත් අරන් ගියේ නැහැ. මොකද ටොන් 60ක් කියන්නේ ලේසි බරක් නෙවෙයිනේ, ඒක එහා මෙහා කරන එක ප්‍රායෝගික නැති නිසා ඒක තිබුණු තැනම තියෙන්න ඇරලා ඒ වටේටම තමයි ප්‍රදර්ශන ස්ථානය හැදුවේ.
පස්සේ කාලෙක එතනට එන සංචාරකයෝ මේකෙන් කෑලි කෑලි කපලා අරන් යන්න පටන් ගත්ත නිසා, 1955 අවුරුද්දේදී මේක ජාතික ස්මාරකයක් විදිහට නම් කළා. අහසින් වැටිලා මෙතෙක් හම්බවුණු බරම දේ මේකයි. ඒක අදටත් අර කිව්ව කුඹුරේමයි තියෙන්නේ.
උපුටා ගැනීම : Chaminda Lakmal Kalubovila


