විවේකී නිවාඩුවක් ගත කරන්න සුඛෝපභෝගී මගී නෞකාවක (Cruise ship) ගියපු මගීන්ට මුහුණ දෙන්න වුණු අතිශය භයානක සිදුවීමක් ගැන මේ දිනවල ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දැඩි අවධානය යොමුවෙලා තියෙනවා. අත්ලාන්තික් සාගරය හරහා ගමන් කළ නෞකාවක පැතිර ගිය අතිශය දුර්ලභ “හන්ටාවෛරස්” ආසාදනයක් හේතුවෙන් මේ වෙද්දිත් මගීන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
මේ සිදුවීම වාර්තා වෙන්නේ නෞකාවේ ගමන් කළ මගීන් කිහිප දෙනෙකුට හදිසියේම දරුණු ශ්වසන ආබාධ ඇතිවීමත් සමඟයි. මියගිය තිදෙනාට අමතරව මේ වනවිටත් රෝගීන් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව නිල වශයෙන් තහවුරු කරගෙන තියෙනවා. අප්‍රේල් 27 වැනිදා අසාධ්‍ය තත්ත්වයට පත්වුණු බ්‍රිතාන්‍ය ජාතිකයෙකුව වහාම දකුණු අප්‍රිකාවේ රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය බහු-රටවලට බලපාන පොකුරක් (multi-country cluster) ලෙස සලකා පරීක්ෂණ පවත්වනවා.
මොකක්ද මේ හන්ටාවෛරස් කියන්නේ? මේක මීයන්ගේ මූත්‍රා, කෙළ සහ අසූචි මගින් වාතයට එකතුවෙන අංශු ආශ්වාස කිරීමෙන් මිනිසුන්ට බෝවෙන භයානක වෛරසයක්. විශේෂයෙන්ම වාතාශ්‍රය අඩු සංවෘත ස්ථානවලදී මෙය පහසුවෙන් ශරීරගත වෙන්න පුළුවන්. මේ මගින් දරුණු ශ්වසන රෝග (hantavirus pulmonary syndrome) ඇතිවෙන අතර, සාමාන්‍ය උණ රෝගයක් ලෙස ආරම්භ වී පසුව හුස්ම ගැනීමේ අපහසුතා ඇති කර මරණය පවා ගෙන දෙන්න පුළුවන්.
මේ වෙද්දි ලෝකයේ සෞඛ්‍ය ආයතන කිහිපයක් එකතුවෙලා මේ නැවේ ගිය මගීන් සහ කාර්ය මණ්ඩලය සොයා දැවැන්ත මෙහෙයුමක් දියත් කරලා තියෙනවා. නැවේ ගමන් කළ අයට උණ, මස්පිඬු වේදනාව සහ හුස්ම ගැනීමේ අපහසුතා වගේ රෝග ලක්ෂණ ගැන අවධානයෙන් ඉන්න කියලා ඔවුන් උපදෙස් දෙනවා. කොහොම වුණත් මේ වෛරසය මිනිහෙක්ගෙන් තවත් මිනිහෙකුට ලේසියෙන් බෝවෙන්නේ නැති නිසා සාමාන්‍ය ජනතාව බිය විය යුතු නැති බව බලධාරීන් පවසනවා.
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


