කාලය 1946 අගෝස්තු මාසය.
මුළු කල්කටා නගරයම කඳුළු ගඟක් වෙලා
හින්දු-මුස්ලිම් මහා කැරැල්ල හින්දා පාරවල් පුරා මිනිස්සු සුන්නද්ධූලි වෙලා.
බඩගින්නේ අඬන දරුවෝ, ලතෝනි දෙන අසරණ මිනිස්සු… ![]()
මේ හැමදේම දිහා කන්‍යාරාමයේ උස තාප්ප අස්සේ ඉඳන් බලාගෙන හිටපු එක තරුණ ගුරුවරියක් හිටියා.
ඇය නමින් ඇග්නස්. හැබැයි ඇගේ හිත ඇතුළේ ලොකු කුණාටුවක් හැදෙන්න ගත්තා.
“මම මේ වගේ සැපපහසු කාමරේට වෙලා, රස කෑම කකා, ළමයින්ට උගන්වන එක විතරද දෙවියන් වහන්සේ ඇත්තටම මගෙන් බලාපොරොත්තු වෙන්නේ?” ![]()
ඔන්න ඔය අතරේ තමයි 1946 සැප්තැම්බර් 10 වෙනිදා ඒ ජීවිතයම වෙනස් කරපු සිදුවීම වුණේ. ![]()
ඇග්නස් කල්කටාවේ ඉඳන් දාර්ජිලින් බලා යන දුම්රියට ගොඩ වුණා. දුම්රිය පීලි මතින් වේගයෙන් ඇදිලා යද්දී, රෝදවලින් නැගුණු ඝෝෂාකාරී ශබ්දය මැදින් ඇයට අමුතුම, පැහැදිලි කටහඬක් ඇහෙන්න ගත්තා! ![]()
බාහිර ලෝකයට ඒක නිකම්ම දුම්රිය හඬක් වුණාට, ඇගේ හදවතට ඒක දිව්‍යමය විධානයක් වුණා. “කන්‍යාරාමයේ ආරක්ෂිත තාප්පවලින් එළියට බැහැපන්.
මුඩුක්කු අස්සේ, කුණු බක්කි අස්සේ මැරි මැරී උපදින මගේ අසරණ මිනිස්සු ළඟට පලයන්!” ඈට ඇහුණු ඒ අද්භූත පණිවුඩය ![]()
මුළු ලෝකයේම ඉරණම මේ විදිහට වෙනස් කරයි කියලා එදා කවුද හිතුවේ? ![]()
ඇත්තටම කවුද මේ ඇග්නස් කියන්නේ? ![]()
1910 දී වර්තමාන උතුරු මැසදෝනියාවේ ඉපදුණු මේ පුංචි කෙල්ල, වයස අවුරුදු 12 වෙනකොටම තේරුම් ගත්තා තමන්ගේ ජීවිතය අයිති ලෝකයේ අසරණ වුණු මිනිස්සුන්ට කියලා. ඈට ඕන වුණේ කොහොමහරි ඉන්දියාවට යන්න.
හැබැයි ඒකට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන හින්දා, වයස 18 දී තමන්ගේ ආදරණීය අම්මවයි, සහෝදරයන්වයි සදහටම අතහැරලා අයර්ලන්තයට ගියා. ![]()
හිතන්න, ආයෙ කවදාවත් තමන්ගේ උපන් බිමවත්, අම්මාවත් දකින්න ලැබෙන්නේ නැහැ කියලා දැන දැනම ඒ ගත්ත තීරණය කොච්චර හිත හිරිවට්ටන එකක්ද? ![]()
ඉන්දියාවට ආවට පස්සේ ඇය “තෙරේසා” කියන නම ගත්තා. ලොරෙටෝ කන්‍යාරාමයේ වසර 20ක් විදුහල්පතිනියක් විදිහට සේවය කරලා, හැමෝගෙම ගෞරවය දිනාගෙන හිටපු තෙරේසා මව්තුමියට, අර දුම්රිය ඇතුළේදී ලැබුණු දේව අණ කිසිසේත්ම අමතක කරන්න බැරි වුණා. ![]()
ඒත් කන්‍යාරාමයකින් එළියට බැහැලා තනිවම මේ අමුතු ලෝකෙට මුහුණ දෙන එක ලේසි නෑ. වතිකානුවෙන් අවසර ගන්න අවුරුදු දෙකක් පුරා ඇය පල්ලියත් එක්ක ලොකු සටනක් කළා. ![]()
අන්තිමේදී 1948 දී, තමන් ඇඳගෙන හිටපු සාම්ප්‍රදායික කන්‍යා සොහොයුරියන්ගේ බර ඇඳුම ගලවලා දාලා, ඉන්දියානු කාන්තාවන් අඳින රුපියල් පහක නිල් වාටිය දාපු සුදු සරල කපු සාරියක් ඇඟ ලාගත්තා. ![]()
දැන් ඇය පාරේ
අතේ සතයක්වත් නෑ.
මුලින්ම ගියේ පැට්නා නගරයට, මූලික වෛද්‍ය පුහුණුවක් ගන්න. ඊට පස්සේ ආපහු කල්කටාවේ මොටිජ්හිල් කියන දරුණුම මුඩුක්කු ප්‍රදේශයට ආවා. කිසිම හව්හරණක් නැති, කුණු බක්කි අස්සේ දාලා ගිය පුංචි ළමයි වෙනුවෙන් පාරේ වැලි පොළොවේ අකුරු ලියලා පුංචි ඉස්කෝලයක් හැදුවා. ![]()
තෙරේසා මව්තුමිය ඇගේ දිනපොතේ ලියපු එක ලොකු රහසක් තියෙනවා. ![]()
ඒක කියවද්දී අපේ ඇස්වලට කඳුළු උනනවා. කන්‍යාරාමයේ සැප ජීවිතය අතහැරලා පාරට බැස්ස මුල් කාලේ, ඇයට දරුණු විදිහට බඩගිනි වුණාලු. කෑම ටිකක් ඉල්ලගන්න මිනිස්සු ඉස්සරහා අතපාද්දී දැනුණු ලැජ්ජාව, තනිකම, ණය බර දරාගන්න බැරිව, ![]()
“ඇයි මම මේ දුක විඳින්නේ? ආපහු කන්‍යාරාමයේ සුවපහසු කාමරයට දුවලා යන්න ඕනේ” කියලා දහස් වාරයක් හිතුණාලු!
හැබැයි ඈ ඒ හැම පරීක්ෂාවකටම මුහුණ දුන්නේ අසීමිත ආත්ම ශක්තියකින්. ![]()
1950 ඔක්තෝබර් 4 වෙනිදා, වතිකානුවේ නිල අනුමැතිය ඇතිව සාමාජිකාවන් 13 දෙනෙක්ගෙන් ඇය දයාවේ දූත සභාව පිහිටෙව්වා. ![]()
මෙතැන් ඉඳන් ඇය කරපු සමහර වැඩ හින්දා මුළු කල්කටාවම හොල්ලන්න ඇයට පුළුවන් වුණා. දවසක් ඇයට පාරේ දිරාපත් වෙවී, පණුවන් ගහලා, බල්ලෝ සූරන ම# රණාසන්න මිනිහෙක් හම්බවුණා. ![]()
රෝහල්වලින් පවා එයාව බාරගත්තේ නෑ. ඇය එයාව තමන්ගේ දෝතට අරන්, පරණ හින්දු කෝවිලක් රජයෙන් ඉල්ලගෙන නිර්මල හදවත් ඇත්තන්ගේ නිවාසය (Kalighat Home for the Dying) ආරම්භ කළා. ![]()
ඇයි ඇය මෙහෙම කළේ? ![]()
ඇය කිව්වේ, “පාරේ සත්තු වගේ මැ# රෙන්න වැටිලා ඉන්න මිනිස්සුන්ට, මැ# රෙන්න කලින් තමන් මිනිහෙක්, තමන්ටත් ආදරය කරන්න කෙනෙක් ඉන්නවා කියලා දැනෙන්න ඕනේ.
සත්තු වගේ ජීවත් වුණත්, ඔවුන් මැ# රෙන්න ඕනේ දේව දූතයෝ වගේ!” කියලා. ![]()
එතැනදී හින්දු භක්තිකයෙක් මැ# රෙන්න යද්දී ගංගා නදියේ පැන් බිඳක් තොල ගෑවා, මුස්ලිම් කෙනෙක්ට කුරානය ඇහෙන්න සැලැස්සුවා, කිතුණුවෙක්ට අවසන් ආගමික වත්පිළිවෙත් කළා. මොනතරම් උත්තරීතර මනුෂ්‍යත්වයක්ද? ![]()
ඒ විතරක් නෙවෙයි, සමාජය කොන් කරපු, දැක්කත් හිරිකිත වුණු ලාදුරු රෝගීන් වෙනුවෙන් ශාන්ති නගර් ආශ්‍රමය හැදුවා. අතහැර දමපු දරුවන් වෙනුවෙන් නිර්මල සිසු භවන් හැදුවා. ![]()
1950 දී 13 දෙනෙක්ගෙන් පටන් ගත්තු මේ පුංචි කණ්ඩායම, 1997 වෙනකොට ලෝකය පුරා රටවල් රැසක පැතිරුණු, කන්‍යා සොහොයුරියන් 4,000කට වඩා ඉන්න මහා මෙහෙවරක් බවට පත්වුණා. ඒඩ්ස් රෝගීන්, අනාථයින්, ඇබ්බැහි වූවන්, භූමිකම්පා සහ ගංවතුරෙන් අසරණ වුණු මිලියන ගණනකගේ එකම ගැලවුම්කාරිය ඇය වුණා.
ලෝකයේ ඉහළම සම්මානය වෙන නොබෙල් සාම ත්‍යාගය ඇයට ලැබෙද්දී, ඒ වෙනුවෙන් පවත්වන්න තිබුණු මහා රාජකීය භෝජන සංග්‍රහය අවලංගු කරන්න කියලා ඇය ඉල්ලා සිටියා. ඒ සල්ලිවලින් මගේ අසරණ දරුවන්ට වේලක් කවන්න කියලයි ඇය කෙලින්ම කිව්වේ. ![]()
වයස අවුරුදු 87ක් වෙනකම්ම, තමන්ගේ හෘද රෝග, නියුමෝනියාව, මැලේරියාව වැනි දරුණු අසනීප එක්ක සටන් කරමින්, බිඳුණු උරහිස් කටු රිදුම් දෙද්දීත් ඈ ආදරයෙන් සේවය කළා. අන්තිමේදී 1997 සැප්තැම්බර් 5 වෙනිදා, ඒ මහා ආදරයේ ඉටිපන්දම නිවී ගියා. ![]()
ඇය අද ජීවතුන් අතර නැතත්, ඇගේ ඒ අසිරිමත් මෙහෙවර අගය කරමින් 2016 සැප්තැම්බර් 4 වෙනිදා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් ඇයව ශුද්ධවන්ත භාවයට ඔසවනු ලැබුවා. ![]()
ඇගේ මුළු ජීවිතයම අපිට කියා දෙන්නේ එකම එක දෙයයි. “ලෝකය වෙනස් කරන්න මහා ලොකු දේවල් ඕන නෑ, කුඩා දේවල් අතිමහත් ආදරයකින් කිරීම විතරක්ම ප්‍රමාණවත්!”
උපුටා ගැනීම : Hela Rahas


