මිනිස්සු 70,000ක් විතර එකතුවෙලා ලෝකයේ භයානකම ආයුධයක් හදනවා, හැබැයි ඒ හදන්නේ මොකක්ද කියලා ඒ මිනිස්සුම දන්නේ නැහැ කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? දෙවන ලෝක යුද්ධය කාලයේදී ඇමරිකාව ලෝකයේ පළමු පරමාණු බෝම්බය හදන්න දියත් කරපු “මෑන්හැටන් ව්‍යාපෘතිය” (Manhattan Project) ඇතුළේ සිද්ධ වුණේ අන්න ඒ වගේ පුදුමාකාර වැඩක්. නාසි ජර්මනියෙන් (Nazi Germany) මේ වැඩේ හංගන්න ඕනෑ නිසා ඇමරිකාව කළේ කැලෑබද ප්‍රදේශවල අලුතින්ම රහසිගත නගර (Hidden cities) නිර්මාණය කරපු එකයි.
මේ විදිහට හදපු ප්‍රධාන රහසිගත නගර තුනක් තිබුණා. නිව් මෙක්සිකෝවේ “ලොස් ඇලමොස්” (Los Alamos) කියන නගරයේ තමයි බෝම්බය සැලසුම් කළේ. සිතියම්වල මේ නගරය පෙන්නුවේ නිකම්ම තැපැල් පෙට්ටියක ලිපිනයක් විදිහට විතරයි! බෝම්බයට අවශ්‍ය ප්ලූටෝනියම් හැදුවේ වොෂින්ටන්වල “හෑන්ෆර්ඩ්” (Hanford) වලයි. ඒ වගේම ටෙනසි ප්‍රාන්තයේ “ඕක් රිජ්” (Oak Ridge) කියන ප්‍රදේශයේ මිනිස්සු 70,000කට වඩා සේවය කරපු දැවැන්ත කර්මාන්තශාලා නගරයක් හැදුවා. ඒත් එතන වැඩ කරපු ගොඩක් මිනිස්සු තමන් පරමාණු බෝම්බයක් හදන්න උදව් කරනවා කියලා දැනගෙන හිටියේ නැහැ. රහස එළියට යයි කියන බයට ඒ සේවකයන්ට පවා වෙනත් බොරු කතා තමයි කියලා තිබුණේ.
විද්‍යාඥ ජේ. රොබට් ඔපන්හයිමර්ගේ (J. Robert Oppenheimer) මූලිකත්වයෙන් මේ රහස් නගරවලින් ගෙනාපු දේවල් එකතු කරලා යුරේනියම්වලින් “ලිට්ල් බෝයි” (Little Boy) සහ ප්ලූටෝනියම්වලින් “ෆැට් මෑන්” (Fat Man) කියන බෝම්බ දෙක නිර්මාණය කළා. 1945 අගෝස්තු මාසයේදී හිරෝෂිමා සහ නාගසාකිවලට මේ බෝම්බ දාන්න කලින්, 1945 ජූලි මාසයේදී “ට්‍රිනිටි” (Trinity test) නමින් ඔවුන් මේ බෝම්බය කාන්තාරයකදී සාර්ථකව අත්හදා බැලුවා.
උපුටා ගැනීම: Beyond Imagination – නොසිතූ ලොවක්


