ලෝක විනාශයක්, දරුණු යුද්ධයක් හරි ස්වභාවික ව්‍යසනයක් නිසා ලෝකයේ තියෙන කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියොත් අපි මොකද කරන්නේ? මේ ප්‍රශ්නයට උත්තරයක් විදිහට නෝර්වේ (Norway) රාජ්‍යයේ අධික ශීතල ආක්ටික් කඳුකරයක් අභ්‍යන්තරයේ ලෝකයේ තියෙන වටිනාම බැංකුවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ තමයි “සෝල්බාර්ඩ් ගෝලීය බීජ බැංකුව” (Svalbard Global Seed Vault).
ගොඩක් අය මේකට කියන්නේ “ලෝකාන්තයේ බැංකුව” (Doomsday Vault) කියලයි. මොකද මේක හදලා තියෙන්නේ යුද්ධ, ගංවතුර, ගිනිකඳු පිපිරීම් වගේ ඕනෑම දරුණු ව්‍යසනයකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් විදිහටයි. ලෝකයේ තියෙන බීජ බැංකු 1,700කට වඩා වැඩි ප්‍රමාණයක තියෙන බීජ වර්ග මිලියන 1.3ක විතර සාම්පල මේ බැංකුව ඇතුළේ සෙල්සියස් අංශක ඍණ 18ක (-18°C) අධික සීතලක් යටතේ ආරක්ෂිතව ගබඩා කරලා තියෙනවා. විදුලිය විසන්ධි වුණත්, මේ පරිසරයේ තියෙන ස්වභාවික සීතල නිසා දශක ගණනාවක් යනකන් මේ බීජ නරක් වෙන්නේ නැහැ.
මෙතන ගබඩා කරන්නේ වී, තිරිඟු, ඉරිඟු, අල වගේ අපේ ප්‍රධාන ආහාර බෝගවල බීජයි. යම්කිසි රටක යුද්ධයක් හෝ ස්වභාවික විපතක් නිසා ඒ රටේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම විනාශ වුණොත්, ඒ රටට පුළුවන් තමන් මේ බැංකුවේ තැන්පත් කරපු අතිරේක බීජ ආපහු අරගෙන තමන්ගේ වගාවන් නැවත ආරම්භ කරන්න. මේක හරියට මුළු ලෝකයේම ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් ගහපු දැවැන්තම රක්ෂණයක් වගෙයි!
උපුටා ගැනීම : Beyond Imagination – නොසිතූ ලොවක්


