සියවසකට ආසන්න කාලයක් කිසිම සතෙක් හිටියේ නැති දූපතකට නැවතත් ඒ සතුන්ව ගෙනැවිත් සාර්ථකව බෝ කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. හැබැයි ඇමරිකාවේ “මේන්” (Maine) වෙරළ තීරයේ දූපත්වල ක්‍රියාත්මක වුණු “පෆින් ව්‍යාපෘතිය” (Project Puffin) මේ අභියෝගය අපූරුවට ජයගත්තා.
මීට සියවසකට කලින් මේ දූපත්වලින් “පෆින්” (Puffin) කියන මුහුදු කුරුල්ලන් සම්පූර්ණයෙන්ම වඳවෙලා ගිහින් තිබුණේ. මේ කුරුල්ලන්ව නැවත ගෙන්වාගන්න පර්යේෂකයන් අපූරු උපක්‍රමයක් පාවිච්චි කළා. ඔවුන් වෙනත් ප්‍රදේශයකින් පෆින් පැටවුන්ව මේ හිස් දූපත්වලට ගෙනාවා. මේ කුරුල්ලන් රංචු විදිහට ජීවත් වෙන්න කැමති නිසා, මේ දූපතේ වෙනත් කුරුල්ලන් ඉන්නවා කියලා මේ පැටවුන්ට අඟවන්න පර්යේෂකයන් අපූරු වැඩක් කළා. ඔවුන් ලී වලින් හදපු පෆින් කුරුල්ලන්ගේ අනුරූ (decoys) සහ කණ්ණාඩි දූපත පුරා සවිකරලා, ස්පීකර් හරහා මේ කුරුල්ලන්ගේ ශබ්ද වාදනය කළා. ඒ වගේම මේ පැටවුන්ට තර්ජනයක් වුණු මුහුදු ලිහිණියන්ව පාලනය කරන්නත් කටයුතු කළා.
මේකේ ප්‍රතිඵලය වුණේ මොකක්ද? දශකයකට පස්සේ, ඒ කියන්නේ 1980 ගණන්වල මුල් භාගය වෙද්දී හිස්වෙලා තිබුණු මේ දූපත්වලට නැවතත් පෆින් කුරුල්ලන් ඇවිත් බිත්තර දාන්න පටන් ගත්තා! අද වෙද්දී මේ දූපත් පෆින් කුරුල්ලන්ගෙන් පිරිලා ගිහින්. ඒ විතරක් නෙවෙයි, මේ සාර්ථක “රැවටීමේ ක්‍රමය” පාවිච්චි කරලා අද වෙද්දී ලෝකය පුරා වඳවී යාමේ තර්ජනයට ලක්වුණු තවත් මුහුදු කුරුළු විශේෂ 40කට වඩා සාර්ථකව බේරාගෙන තියෙනවා!
උපුටා ගැනීම :Beyond Imagination – නොසිතූ ලොවක්


