යුද්ධයකට යන ඕනෑම සොල්දාදුවෙක්ගේ ප්‍රධාන අරමුණ වෙන්නේ සටන් කරලා, ජීවිතය බේරාගෙන ආයෙත් තමන්ගේ ගෙදර යන එකයි. හැබැයි උතුරු කොරියාවේ (North Korea) හමුදා සෙබළුන්ට මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස්. එරට රජයේ නීතිවලට අනුව, යුධ පිටියේදී සතුරන්ට පණපිටින් අහුවෙනවා කියන්නේ රටට සහ නායකයාට කරන සමාව දෙන්න බැරි රාජද්‍රෝහී පාවාදීමක් විදිහටයි සැලකෙන්නේ.
හමුදාවට බැඳෙන දවසේ ඉඳන්ම මේ සෙබළුන්ගේ මනසට කාවද්දන්නේ “සතුරන්ට අහුවෙනවාට වඩා මැරෙන එක නම්බුයි” කියන එකයි. පුහුණුවීම්වලදී පවා ඔවුන්ට උපදෙස් දෙන්නේ “අවසාන පතරොම හැමතිස්සෙම තමන් වෙනුවෙන් ඉතුරු කරගන්න” කියලයි. මෑතකදී යුක්රේන යුද්ධයට (Ukraine war) යවපු උතුරු කොරියානු සෙබළුන්ගෙන් සහ එරටින් පලාගිය අයගෙන් හෙළිවෙලා තියෙන විදිහට, සිරකරුවෙක් වෙලා ආයෙත් මව් රටට ගියොත් ඔවුන්ට අත්වෙන්නේ මරණ දඬුවම හරි දරුණු වධ කඳවුරකට යන එක හරි විතරයි.
මේ භයානක මතවාදය මේ දිනවල උතුරු කොරියාව ඇතුළේ තදින්ම ප්‍රචාරය කරනවා. 2026 වසරේදී එරට මාධ්‍ය විසින්, සතුරන්ට අහුවෙන්න යනකොට තමන්ගේ ළඟ තියෙන බෝම්බය පුපුරුවාගෙන (self-blast) සියදිවි නසාගත්තු සෙබළුන්ව විශාල වශයෙන් අගය කරලා තිබුණා. ඔවුන් පෙන්වා දෙන්නේ මේක තමන්ගේ නායකයා වෙන කිම් ජොන් උන් (Kim Jong Un) වෙනුවෙන් දක්වන උපරිම පක්ෂපාතීත්වය කියලයි. රටින් පිටතට යවන සෙබළුන්ගෙන් තමන්ගේ රහස් එළියට යන එක නවත්වන්න තමයි රජය මේ වගේ අමානුෂික නීති පනවලා තියෙන්නේ.
උපුටා ගැනීම: Beyond Imagination – නොසිතූ ලොවක්


