in

රුසියාවේ සුපතල සරසවියකට නම යෙදීමට පාදකවූ අසාහය නායක “පැට්‌රිස්‌ ලුමුම්බා”

අධිරාජ්‍යවාදීන්ගේ ආධිපත්‍යට අප්‍රිකානු මහාද්වීපය යටත් වීමෙන් අනතුරුව , එතෙක් නිදහසේ කල් ගෙවූ කළු මිනිසුන්ට උරුම වුයේ වහල්කම පමණි. යුරෝපීය ජාතීන්ගේ සුරාකෑමට ලක් වූ අප්‍රිකානු රටවලින් කොංගෝවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ස්වභාවික සම්පත් වලින් පිරීගිය කොන්ගෝව ඉතා දිළිඳු රාජ්‍යක් බවට පත් කර තිබුනේද දීර්ඝ කාලීන යුරෝපීය සුරාකෑමේ ප්‍රතිපලයක් වශයෙනි. කොංගෝ වැසියන්ට අධ්‍යාපන අයිතිය , දේශපාලන අයිතිය යනු සිහිනයක් පමණක්ම විය.

මෙකි කෘර පාලනයට එරෙහිව සටන් පෙරමුණක් ද කොංගෝ දේශයෙන් මතු වෙමින් තිබුණි. බ්‍රිතාන්‍යයේ “ටැංගනිකා කොන්සලන්ස්‌” , ඇමරිකාවේ ප්‍රභූ පන්තියේ “රොක්‌ පැලර්” පවුල් සමාගම්වලටත්, බෙල්ජියන් වෙළෙඳ ව්‍යාපාරිකයින්ටත්, කොංගෝවේ සාරය හා ධනය උරා බීමට තව දුරටත් ඉඩ දිය නොහැකි බවට හඬ නැගු අයෝමය තරුණ නායකත්වයක් අධිරාජ්‍යවාදීන්ට දැවැන්ත අභියෝගයක් එල්ල කලේය. අඳුරින් පිරී තිබුණ කොංගෝව තුළ රිදී රේඛාවක්‌ මතු කරමින් නැගී සිටියේය. ඒ වෙන කිසිවෙකු නොව, 1925 ජූලි 2 දින උපත ලබා ඇති ඔහු, මුතේතෙලා ගෝත්‍රික පැට්‌රිස්‌ ලුමුම්බාය. කොංගෝවේ උසස් අධ්‍යාපනය ලැබීම ස්වදේශිකයන්ට අවස්ථාවක් හිමි නොවූ බැවින්, දිළිඳු පවුලක ඉපදුණු පැට්‍රිස් ලුමුම්බා තැපැල් ලිපිකරුවකු ලෙස සේවය කරමින් සිටියැදීම අධිරාජ්‍ය විරෝධී සටනට නායකත්වය ලබාදුන්නේ තම මාතෘ භුමියේ උස් නිදහස උදෙසා ඕනෑම මොහොතක තම දිවිය වුවද පුද දීමේ ඒකායන බලාපොරොත්තුවෙනි. එම සටන මෙහෙය වීමේ “වරදට”… 1956 වර්ෂයේදී වසර 02 ක සිර දඬුවමකට යටත්වීමට පැට්‌රිස්‌ ලුමුම්බාට සිදු විය. 1958 දී ‘කොංගෝ ජාතික ව්‍යාපාරය’ (Congolese National Movement-MNC) පිහිටුවන ලද අතර, ඝාතනය කරදමනු ලබන තෙක්ම ඔහු එම සංවිධානයට නායකත්වය දුන්නේය.

1959 වර්ෂය වනවිට කොංගෝව තුළ මර්දනය කළ නොහැකි තරමට ජාතික විමුක්ති ව්‍යාපාරය ශක්තිමත් වී තිබුණි. සිරගෙදරින් නිදහස ලැබීමත් සමගම , ලුමුම්බා ඉතා ශක්තිමත් දේශපාලන පදනමක් ගොඩනගා ගනිමින් , බෙල්ජියානු පාලකයන්ට එරෙහිව සටන් වැදුනි. ඔහුගේ දේශපාලන දර්ශනය සමාජවාදී වූ අතර , අධිරාජ්‍යවාදය පරාජය කර ජාතික විමුක්ති සටන තුලින් අප්‍රිකාව නිදහස් කර ගත යුතු බවට දේශපාලන මතවාදයක් ගොඩ නැගීය. ඔහුගේ සටන්කාමී නායකත්වය ඉදිරියේ බෙල්ජියානු පාලකයන්ට කොංගෝව ස්වදේශිකයන්ට පවරා දීමට අකමැත්තෙන් හෝ සිදු විය.

බෙල්ජියමේ යටත් විජිතයක්ව පැවති කොංගෝව 1960 ජූනි මස 30 දින නිදහස දිනාගත් අතර,බෙල්ජියානු පාලනයෙන් නිදහස ලැබූ කොංගෝවේ ප්‍රථම මැතිවරණය වෙනුවෙන් ලුමුම්බාගේ ජාතික කොංගෝ පෙරමුණ මූලිකත්වය ගත්තේය. මහා මැතිවරණයේදී පැට්‌රික්‌ ලුමුම්බාගේ පක්‍ෂය වැඩි ආසන ගණනක්‌ දිනාගැනීමට සමත්විය. බෙල්ජියම් යටත්විජිත පාලනයෙන් සියරට නිදහස්කර ගැනීම සඳහා ලුමුම්බා පැට්‍රිස් ලුමුම්බා කොංගෝවේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ පළමු රාජ්‍ය පාලකයා වූ අතර, නිදහස් සටනේ නිරතවීම මගින් ඔහු සියරට තුළ පමණක් නොව, එවකට ජාතික නිදහස් ව්‍යාපාර පෙරට යමින් තිබුණ මහාද්වීපය පුරා සියලු අප්‍රිකානු යටත්විජිත රටවල බලවත් ආකර්ෂණයක් සහිත නායකයකු බවට පත්ව සිටියේය. කවියෙකු හා හොඳ කියවන්නෙකු වූ ඔහු සමකාලීන අප්‍රිකානු දේශපාලන ක්‍රියාධරයින් අතර කැපි පෙනුනු නායකයා බවට පත් වුයේ ඔහුගේ වාගේ චාතුර්යය හා බුද්ධිමය හැකියාව නිසාය.

බෙල්ජියානු අධිරාජ්‍යවාදී පාලනයෙන් කොංගෝව නිදහස ලැබීමේ උත්සවය වෙනුවෙන් බෙල්ජියානු රජුද ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී විය. එම උත්සවයට සහභාගී වූ බෙල්ජියානු පාලකයින්ගේ නිරුවත හෙළි කරමින් නිර්භයව තම අදහස් පල කිරීමට ලුමුම්බා නොපසුබට විය.. බෙල්ජියානු සුරාකන්නන්ගේ අනසකට නතු නොවූ අහිංසක කොන්ගෝ වැසියන්ගේ අත් පා සිඳ දමා දඬුවම් කල අයුරුත් , මිලියන දෙකකට ආසන්න තම පුරවැසියන් ඉතා අමානුෂික ලෙස ඝාතනය කර දැමු අයුරුත් , තම නිජභුමියේ ඇති සම්පත් සියල්ල මංකොල්ල කෑ අයුරුත් ඉතා කදිම විවරණයකින් හෙළිදරව් කළේය. බෙල්ජියානු ඇමෙරිකානු ප්‍රංශ පාලකයන්ගේ වෛරය ලුලුම්බා වෙත එල්ල වීමට පටන් ගත්තේ එතැන් සිටය.

එහෙත් නිදහස් කොංගෝ රාජ්‍යයේ පළමු අගමැතිවරයා ලෙස පැට්‍රිස් ලුමුම්බාට කටයුතු කිරීමට සිදුවුනේ මාස කීපයක් පමණි.1961 ජනවාරි 17 වන දින ලුමුම්බා ඝාතනයත් සමඟ ඔහු කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජාතික වීරයකු බවට පත්වූ අතරම, එම ඝාතනය සමස්ත අප්‍රිකානු ලෝකය එකට බැඳ තබන “පොදු අප්‍රිකානුවාදයක්” (Pan-Africanism) පිළිබඳ සංකල්පය බිහිව එය මහාද්වීපය පුරා පැතිරයාමේ ආරම්භය සලකුණු කළේය.

ලුමුම්බාගේ රජය පෙරළා දැමීම සහ ඝාතනය

රජය පිහිටුවා සති දෙකකින් පසු ව ආණ්ඩුව පෙරළා දැමීමට කොංගෝවේ සිටි තවත් දේශපාලඥයන් පිරිසක් කටයුතු කර ඇති අතර ඒ සඳහා ඇමෙරිකාවේ මෙන්ම බෙල්ජියමේ දායකත්වය ද ඔවුන්ට ලැබුණු බව සදහන්වේ. ආණ්ඩුවේ බලය බිඳවැටී හමුදා කැරැල්ලක් ආරම්භ වීමට ප්‍රධානතම හේතුව වන්නේ කොංගෝවේ ස්භාවික ඛනිජ ද්‍රව්‍යවලින් වැඩි ම ප්‍රාන්තය වූ කටන්ගා ප්‍රාන්තය ස්වදේශික කැරලිකරුවන්ගේ ග්‍රහණයට ලක් වීම යි. මේ පිටුපස මොයිස්‌ ෂොම්බේ නම් කොංගෝ දේශපාලඥයා සිටි බව සඳහන් වෙනවා. මෙම ප්‍රදේශයේ පැවති අධික වටිනාකමකින් යුක්ත ඛනිජ ආකාර පිළිබඳ ව බටහිර රාජ්‍යයන් දැඩි අවධානයෙන් සිටි බැවින් ඔවුන්ට ද අවශ්‍යව තිබුණේ ලුමුම්බාගේ ආණ්ඩුව ඉවත්කර, තමන්ගේ ව්‍යාපාර මෙහෙයවා ගත හැකි නම්‍යශීලි ආණ්ඩුවක් කොංගෝව තුළ පිහිටුවීම යි.

තමාව අත්අඩංගුවට ගැනීමට සැරසෙන විට තමන් මහජන බලයෙන් පත් වූ නායකයා බැවින් බලයෙන් පහ කිරීම නීති විරෝධී බව ප්‍රකාශ කරමින්, මේ සඳහා සාධාරණයක් ඉටු කරන ලෙස ඔහු එක්සත් ජාතීන්ගෙන් ඉල්ලා සිටින නමුත් ඒ සඳහා යහපත් පිළිතුරක් ඔහුට නොලැබෙන අතර, 1960 දෙසැම්බර් 1 වෙනි දා ලුමුම්බාව හා ඔහුගේ පක්ෂයේ තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන කොංගෝවෙන් වෙන ම ප්‍රදේශයක් ලෙස පාලනය වූ කටන්ගා වෙත රැගෙන යන අතර, තිදෙනාව අධික ලෙස වධ හිංසාවන්ට ලක්කෙරෙන අතර, 1961 ජනවාරි 17 වන දා රාත්‍රියේ ලුමුම්බා නම් විප්ලවවාදියාව වෙඩි තබා මරා දමනවා. කටන්ගා පාලන බලධාරීන් හා කොංගෝ දේශපාලන නායකයන් මේ ඝාතනය වසන් කිරීම සඳහා මේ සම්බන්ධ ව කිසිදු ප්‍රවෘත්තියක් නිකුත් නොකරන අතර, ඔහුගේ මළසිරුර සල්ෆියුරික් අම්ලයේ දමා දිය කළ බව ද සඳහන් වේ. අප්‍රිකානු මහද්වීපය තුළ මෙතෙක් පහලවූ ශ්‍රේෂ්ටම කළු මිනිසා ගේ ඝාතනය පිළිඹද ව්‍යාජ පුවත් නිකුත් කරන ලද නමුත්, ටික කාලයකින් පසු ව ඝාතනයේ සැබෑ තොරතුරු හෙළිවිය. ඒ අනුව පැට්‍රිස් ලුමුම්බාගේ පාලනය අවසාන කිරීමට ඇමරිකන් රහස් ඔත්තු සේවය, බෙල්ජියම, නේටෝව හා බ්‍රිතාන්‍ය M-16 රහස් ඔත්තු සේවයද එක් පෙරමුණකට පැමිණ තිබුණ බව පසුව හෙළිවිණි. එම චෝදනාවන්ගෙන් මිදීමට අද වන තුරු ලෝක බලවතුන්ට හැකියාවක් ලැබී නැත.

පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව සරසවිය

1961 වසරේ ලුමුම්බා ඝාතනය කරනු ලැබීමෙන් පසු සෝවියට් සංගමය සිය සරසවියක් ඔහුගේ නමින් නම්කරන ලද්දේ ඔහුට උපහාරයක් වශයෙනි.

එය මොස්කව් නගරයේ පිහිටි ‘පැට්‍රිස් ලුමුම්බා’ මිත්‍රත්ව සරසවියයි.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය පැට්‍රිස් ලුමුම්බා වෙනුවෙන් ‘Lumumbaville’ නමින් නගරයක් නිර්මාණය කර ඇත.

අන්තර් ජාලය ඇසුරිනි.

Pathiru / පතිරූ

What do you think?

Written by Mic

කිඹුල් සමෙන් හැදූ අවුරුදු 1,700කට වඩා පැරණි සන්නාහයක්!

ලොව මවිත කරවන සොරබොර වැවේ විශ්මිත තාක්ෂණය