මිනිස් ඉතිහාසයේ විස්මිතම ශිෂ්ටාචාරයන් බොහොමයක් මහාද්වීප කේන්ද්‍ර කරගනිමින් බිහිවෙද්දී, බටහිර පැසිෆික් සාගරයේ හුදෙකලා දූපත් සමූහයක් අතරින් මතු වුන එක්තරා නිහඬ ශෛලමය පුරාවෘත්තයක් අද ලොවම විමතියකට පත් කරනවා. ඒ, මයික්‍රොනීසියාවේ පොන්පෙයි දූපතට ඔබ්බෙන්, සසල සාගර දිය මත කොරල් පරයක් පදනම් කරගනිමින් කෘතිමව නිර්මාණය කරලා තියෙන “නන් මඩොල්” නටබුන් නගරයයි.
පැසිෆික් සාගරය මැද කෘතිම දූපත් 90කට අධික ප්‍රමාණයක් යා කරමින් ගොඩනඟා ඇති, “පැසිෆික් සාගරයේ වැනිසිය” විදියටත් විරුදාවලි ලත් මේ අතිශය සංකීර්ණ නගරය, අතීත මානවයා සතු වුනු විස්මිත සාගර කළමනාකරණය, අදහාගත නොහැකි ඉංජිනේරු ඥානය සහ මූලෝපායික නාගරික සැලසුම්කරණය හොඳින්ම කියාපාන කැඩපතක්.
නන් මඩොල් පිහිටලා තියෙන්නේ බටහිර පැසිෆික් සාගරයේ, කැරොලයින් දූපත් සමූහයට අයත් පොන්පෙයි දූපතේ ගිනිකොණදිග වෙරළ තීරයට වෙන්නයි. සාමාන්‍යයෙන් පුරාණ නගර ගොඩබිම මත ස්ථාවර පසේ ගොඩනැඟුවත්, නන් මඩොල් වල නිර්මාණකරුවන් තෝරාගෙන ඇත්තේ සක්‍රීය සාගර රළ වදින කොරල් පරයක්.
ප්‍රාදේශීය වංශකථා සහ නූතන පුරාවිද්‍යාත්මක කැණීම්වලට අනුව, නන් මාඩොල් නගරය සෞදෙලූර් (Saudeleur ) කියන ඒකාධිකාරී රාජවංශයේ සමස්ත පාලන මධ්‍යස්ථානය, බලකොටුව සහ ප්‍රධාන ආගමික අගනුවරයි.
එහි දැනට පැහැදිලිව හඳුනාගත හැකි මතුපිට ව්‍යුහය පමණක් වර්ග කිලෝමීටර් 1.5ක් පුරා විහිදිලා තියෙනවා. එකිනෙකට වෙන් වුනු, නමුත් කෘතිමව කපන ලද කුඩා ඇල මාර්ග ජාලයකින් සහ පාලම් පද්ධතිවලින් සූක්ෂ්මව සම්බන්ධ කරන ලද කෘතිම දූපත් (Islets) 92ක් මෙහි දැකගන්න පුලුවන්.
සාගරයේ සිට පැමිණෙන රළු රළ පහරවල් සහ උදම් රළ මඟින් නගරයේ අභ්‍යන්තර ව්‍යුහයන් ඛාදනය වීම වැළැක්වීම සඳහා නගරය වටා දැවැන්ත ශෛලමය ආරක්ෂිත පවුරක් නිර්මාණය කරලා තියෙනවා. එයින් නගරය ඇතුළත ජල මට්ටම ස්ථාවරව පවත්වා ගන්න ඔවුන්ට පුලුවන් වුනා
කාබන් කාලනිර්ණ පරීක්ෂණ මඟින් තහවුරු වෙලා තියෙන්නේ මෙහි මූලික ඉදිකිරීම් ක්‍රිස්තු වර්ෂ 8 වැනි සියවසේදී පමණ ආරම්භ වෙලා තියෙන බවයි. නමුත්, අද අපි දකින දැවැන්ත, කැපී පෙනෙන ශෛලමය මෙගලිතික නිර්මාණ නම් බිහිවෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 12 සිට 16 දක්වා වූ කාල පරාසය තුළයි.
සෞදෙලූර් පාලකයන් මේ නගරය භාවිත කළේ වාසස්ථානයක් විදියටම නෙවෙයි, තමන් සතු ඒකාධිකාරී බලය සහ දේවත්වයට සමාන තත්ත්වය ප්‍රදර්ශනය කිරීමටයි. ඔවුන් දිවයිනේ අනෙක් ප්‍රදේශවල විසූ ගෝත්‍රික නායකයන් සහ පූජකයන් තමන්ගේ දැඩි නිරීක්ෂණය යටතේ තබා ගැනීම සඳහා මේ නගරයේ පදිංචි කරවා ගත් අතර, සාමාන්‍ය ජනතාවගෙන් ඔවුන්ව සම්පූර්ණයෙන්ම වෙන් කරලා තැබුවා.
මේ ක්‍රෑර පාලනය අවසන් වුනේ ප්‍රාදේශීය ජනප්‍රවාදවල ‘Isokelekel’ කියලා හැඳින්වෙන අර්ධ-මිථ්‍යාමය රණශූරයෙකු විසින් මෙහෙයවන ලද විදේශීය ආක්‍රමණයක් නිසායි. සෞදෙලූර් රාජවංශයේ බිඳවැටීමෙන් පසු, සංකීර්ණ නඩත්තු කටයුතු සහ සැපයුම් දාමයන් අඩාල වීම නිසා ක්‍රමයෙන් මේ මහා නගරය ජනශුන්‍ය වෙලා වනයට බිලි වුනා.
ඒ වුනත්, නන් මාඩොල් නගරයේ ව්‍යුහය නූතන ව්‍යුහ විද්‍යාඥයන් පවා මවිත කරවන ඉංජිනේරුමය ප්‍රහේලිකාවක්. නගරයේ ප්‍රාසාද, පවුරු, සන්නිවේදන කුළුණු සහ සොහොන් ගැබ් සාදා ඇත්තේ බැසෝල්ට් කියන ගිනිකඳු පාෂාණ විශේෂයෙන්. මේ පාෂාණ පොළොව අභ්‍යන්තරයේ සිට පැමිණ සෙමින් සිසිල් වීමේදී ස්වභාවිකවම දිගටි, ෂඩාස්රාකාර හෝ පංචස්රාකාර කුළුණු විදියට ඛණ්ඩනය වෙලා පිහිටනවා.
මේකෙ තියෙන සුවිශේෂීම ලක්ෂණය වෙන්නේ මේ දැවැන්ත ගල් කුළුණු එකිනෙක මත හරස් අතට සහ දික් අතට මාරුවෙන් මාරුවට තබමින් ස්ථාවර පවුරු නිමවා තිබීමයි. මේ ගල් කුළුණු ස්ථාවරව තබා ගැනීමට හෝ එකිනෙක සම්බන්ධ කිරීමට කිසිදු බදාමයක්, මැටි හෝ පුරාණ සිමෙන්ති වර්ගයක් භාවිත කරලා නෑ. ඒවා පවතින්නේ ගුරුත්වාකර්ෂණය සහ නිවැරදි බර තුලනය මත පමණයි.
නගර පවුරුවල ඇති සමහර තනි බැසෝල්ට් කුළුණක බර ටොන් 5 සිට ටොන් 50 දක්වා අතිදැවැන්ත අගයක් ගන්නවා. පුරාවිද්‍යාත්මක ඇස්තමේන්තුවලට අනුව, සමස්ත නන් මාඩොල් නගරය සහ එහි කෘතිම දූපත් නිර්මාණය කිරීම සඳහා භාවිත කර ඇති මුළු බැසෝල්ට් ගල් ප්‍රමාණය ටොන් 750,000කට වඩා වැඩියි.
වඩාත්ම පුදුම හිතෙන කාරණය වෙන්නේ, මේ පාෂාණ ස්වභාවිකව පිහිටි ගල් කොරිය නැත්නම් ගල් වැඩපොළවල් පිහිටලා තියෙන්නේ පොන්පෙයි දූපතේ ප්‍රතිවිරුද්ධ පැත්තේ වීමයි. රෝදය, ලීවර තාක්ෂණය, ලෝහමය ආයුධ හෝ අලි ඇතුන් වගේ සතුන්ගේ ශ්‍රමයක් නොතිබූ, ගල් යුගයේ අගභාගයේ පසු වුන මේ මිනිසුන්, මේ දැවැන්ත ගල් කිලෝමීටර් ගණනාවක් දුරින් පිහිටි ඝන කැලෑව හරහා සහ රළු මුහුද මැදට ප්‍රවාහනය කළේ කොහොමද කියන එක අදටත් නිශ්චිතව විසඳාගන්න බැරි විද්‍යාත්මක ප්‍රහේලිකාවක්.
නන් මාඩොල් නගරය එහි කාර්යභාරය සහ සමාජීය පන්ති පදනම් කරගනිමින් ප්‍රධාන වශයෙන් භූගෝලීය කොටස් දෙකකට බෙදා තිබුණා.
පරිපාලන සහ නේවාසික කලාපය හැඳින්වුන ප්‍රාදේශික නම වුනේ “මාඩොල් පහළ” නැත්නම් “Madol Pah” යි. මේ නගරයේ බටහිර කොටසයි. මෙහි සෞදෙලූර් රජවරුන්ගේ ප්‍රධාන මාලිගා සංකීර්ණ, උසස් ප්රභූන්ගේ නිවාස, පොදු රැස්වීම් ශාලා සහ ඔරු නැවැත්වීම සඳහා සකස් කළ විශේෂ අංගන පිහිටා තිබුණා.
ආගමික සහ සුසාන කලාපය හැඳින්වුනේ “මාඩොල් ඉහළ” නැත්නම් “Madol Powe” විදියටයි. ඒ නගරයේ ඊසානදිග කොටසයි. පූජකවරුන්ගේ නිවාස, ආගමික වත්පිළිවෙත් සහ බිලිපූජා පවත්වන ස්ථාන වගේම රාජකීය සොහොන් ගැබ් රැසක් මෙහි කේන්ද්‍රගත වෙලා තිබුණා.
නන් මඩොල් වල තියෙන වඩාත්ම කැපී පෙනෙන සහ වාස්තුවිද්‍යාත්මකව දියුණුම ස්ථානය වෙන්නේ මාඩොල් ඉහළ කලාපයේ පිහිටි ‘Nandauwas’ රාජකීය සොහොන් ගැබයි. මීටර් 8ක් පමණ උසින් යුත් දැවැන්ත ද්විත්ව බැසෝල්ට් තාප්පවලින් වට වුන මේ සංකීර්ණය ඇතුළත, සෞදෙලූර් පාලකයන්ගේ මෘත දේහයන් තැන්පත් කළ මධ්‍යම සොහොන් ගැබ පිහිටලා තියෙනවා. මේක සතුරන්ගෙන් වගේම ස්වභාවික විපත්වලින්ද ආරක්ෂා වන පරිදි නිර්මාණය කළ ශෛලමය බලකොටුවක්.
නන් මඩොල් අතිශය සුවිශේෂ පුරාවිද්‍යාත්මක ස්ථානයක් වෙන්න මූලිකම හේතුව තමයිපුරාවිද්යාත්මක දත්තවලට එපිටින් ගිය, නූතන විද්‍යාවට සහ තාක්ෂණයට පවා තවමත් සම්පූර්ණයෙන් පැහැදිලි කළ නොහැකි සුවිශේෂී කරුණු කිහිපයක් නන් මාඩොල් සතු වීම.
Nandauwas සොහොන් ගැබ සහ නගරයේ සමහර විශේෂ ස්ථාන අසලදී නූතන ගවේෂකයන් භාවිත කරන මාලිමා සහ සංවේදී GPS උපකරණ නිවැරදිව ක්‍රියා කරන්නෙ නෑ. මේකට හේතුව මේ නගරය ඉදිකිරීමට දිවයිනේ අනෙක් පසින් ගෙනෙන ලද සමහර විශේෂ බැසෝල්ට් පාෂාණවල අධික විදියට මැග්නටයිට් හෙවත් ස්වභාවික චුම්බක යකඩ අඩංගු වීමයි. මේ පාෂාණවල ඇති ඉහළ චුම්බක සාන්ද්‍රණය නිසා මුළු ප්‍රදේශයේම භූ-චුම්බක ක්ෂේත්රයේ විෂමතාවයක් නැත්නම් Local Magnetic Anomaly එකක් හටගෙන තියෙනවා.
ඒ වගේම, අද අප පොළොව මතුපිට දකින නන් මාඩොල් නගරය, එහි සැබෑ ව්‍යුහයේ එක් ස්ථරයක් පමණයි. Scuba Diving තාක්ෂණය භාවිත කරමින් සාගර විද්‍යාඥයන් සහ පුරාවිද්‍යාඥයන් විසින් සිදුකරන ලද සාගර පත්ල ගවේෂණවලදී හෙළි වෙලා තියෙන්නේ, වර්තමාන මුහුදු මට්ටමට වඩා මීටර් ගණනාවක් යටින් සාගර පත්ලෙත් මේ වගේම දැවැන්ත බැසෝල්ට් කුළුණු, පාරවල්, තාප්ප සහ නටබුන් විහිදී පවතින බවයි. ප්‍රාදේශීය වැසියන් පවසන්නේ සාගරය යට ‘Kahnhweli’ නමින් මන්ත්‍රකාරයන්ගේ සහ අතීත වැසියන්ගේ තවත් රහසිගත නගරයක් ගිලී පවතින බවයි.
අනෙක් අතට මේක ලෝක ඉතිහාසයේ හමුවන අමුතුම අගනුවරක් වන්නේ, නගරය තුළ ජීවත් වීමට අවශ්‍ය මූලික මිනිස් අවශ්‍යතා කිසිවක් ස්වභාවිකව නොපිහිටීම නිසායි. නන් මාඩොල් සාදා තිබුණේ කරදිය මුහුද මැද කොරල් පරයක් මත නිසා, එහි වගා කිරීමට සුදුසු පසක් හෝ බොන්න පිරිසිදු දිය උල්පතක් තිබුණේ නෑ. ඒ නිසා මෑතක් වෙනතුරුම තිබුන පැහැදිලි කිරීම වුනේ එහි විසූ රජවරුන්, ප්‍රභූන් සහ පූජකයන් සඳහා දිනපතාම අවශ්‍ය ආහාර, එළවළු සහ පිරිසිදු පානීය ජලය ප්‍රධාන ගොඩබිමේ ඉඳලා ඔරු සහ පාරු මඟින් අඛණ්ඩව ප්‍රවාහනය කිරීමට සිදු වුන බවයි. එයින් කියවුනේ නගරයේ පැවැත්ම සම්පූර්ණයෙන්ම බාහිර සැපයුම් දාමයක් මත රඳා පැවති බවයි.
නමුත්, නගරයේ වැසියන් කෑම බීම සඳහා සම්පූර්ණයෙන්ම බාහිරින් යැපුණේ නැති බව මෑතකදි ලයිඩර් තාක්ෂණය උදව් කරගෙන සිදුකල පර්යේෂණයකින් හෙළි වුනා. නගර සීමාවෙන් ඔබ්බට, ප්‍රධාන දූපත දෙසට වන්නට වගුරු බිම් පාලනය කරමින් අල වර්ග විශාල වශයෙන් වගා කිරීම සඳහා කෘතිමව සකස් කළ සුවිශේෂී හෙල්මළු පාත්ති, ජල පාලන බැමි විශාල ප්‍රමාණයක් කැලෑව යටින් සොයාගැනුණා
කොහොම නමුත්, විද්‍යාවට කොටු නොවූ ප්‍රාදේශීය වැසියන් සතුව ඒ නගරයේ ආරම්භය පිළිබඳව අපූරු විශ්වාසයන් තියෙනවා. පොන්පෙයි වැසියන්ගේ මුඛ පරම්පරාගත ඉතිහාසයට අනුව, ‘Olosihpa’ සහ ‘Olosohpa’ නම් අද්භූත මන්ත්‍ර බලයක් තිබූ සහෝදරයන් දෙදෙනෙක් විසින් තමයි මේ නගරය නිර්මාණය කරලා තියෙන්නේ. ඔවුන් තමන් සතු දිව්‍යමය හා මන්ත්‍ර ශක්තිය උපයෝගී කරගනිමින්, දිවයිනේ අනෙක් පැත්තෙ තිබුනු දැවැන්ත බැසෝල්ට් කුළුණු කුරුල්ලන් වගේ අහසින් පාවී එන්නට සලස්වා මේ පවුරු නිමවලා තියෙනවා..
මේ අද්භූත වටපිටාව නිසාම, බටහිර භීතිකා ප්‍රබන්ධ සාහිත්‍යයේ පියා විදියට සැලකෙන H.P. Lovecraft විසින් රචිත සුප්‍රසිද්ධ “The Call of Cthulhu” කෙටි කතාවේ එන, සාගරය යට සැඟවුණු, අද්භූත නොවන-යුක්ලීඩීය ජ්‍යාමිතික හැඩතලවලින් යුත් ‘R’lyeh’ නගරය නිර්මාණය කිරීමට ප්‍රධානතම දෘශ්‍ය ආභාසය ලබාගෙන ඇත්තේ දහනව වන සියවසේ සංචාරකයන් විසින් වාර්තා කර තිබුනු මේ නන් මාඩොල් නගරයේ ව්‍යුහය ඇසුරින්.
ඒ වගේම, 1900 ගණන්වල මුලදී මයික්‍රොනීසියාව පාලනය කළ ජර්මානු ආණ්ඩුකාර ‘Victor Berg’, ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධය සහ තහංචි නොතකා නන් මාඩොල් වල පාලකයන්ගේ සොහොන් ගැබ් හාරා පුරාවිද්‍යාත්මක වස්තූන් සහ පුරාණ ඇටකටු එකතු කළා. එදින රාත්‍රියේ ඔහුට අද්භූත ශබ්ද ඇසුණු බව වාර්තා වුනු අතර, පසුදා උදෑසන වන විට ඔහු කිසිදු පූර්ව රෝග ලක්ෂණයකින් තොරව හදිසියේම මියගිහින් තිබුණා. වෛද්‍යවරුන් ඒක හිරු රශ්මිය නිසා ඇති වුනු ආඝාතයක් හෙවත් Heatstroke විදියට හැඳින්වුවත්, ප්‍රදේශවාසීන් අදටත් විශ්වාස කරන්නේ සොහොන් ගැබ් ආරක්ෂා කරන ශාප ලත් ආත්මයන් ඔහුව බිලිගත් බවයි.
2016 වසරේ සිට ක්‍රියාත්මක වූ, විශේෂයෙන්ම National Geographic ආයතනයේ සහයෝගීතාවයෙන් යුතුව සිදුකරන ලද LiDAR තාක්ෂණික පරීක්ෂණ මඟින් නන් මාඩොල් පිළිබඳව මෙතෙක් කල් පැවති මතයන් සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. ගුවන් යානයක ඉඳලා අධිවේගී ලේසර් කිරණ මිලියන ගණනක් පොළොවට විදලා, එහි ඇති ඝන කැලෑව සහ මඩ වගුරු විනිවිද දකිමින් සකස් කරන ලද 3D සිතියම් (Digital Elevation Models) මඟින් ලෝකය නන් මඩොල් ගැන මෙතෙක් නොදැන සිටි විස්මිත කරුණු රැසක් අනාවරණය කරගන්න පුලුවන් වුනා.
එතෙක් කල් පුරාවිද්‍යාත්මකව උපකල්පනය කළේ නන් මාඩොල් කියන්නෙ වර්ග කිලෝමීටර් 1.5ක විතර කුඩා වෙරළාශ්‍රිත පූජනීය මධ්‍යස්ථානයක් විතරක් කියලයි. නමුත් ලයිඩර් සිතියම් මඟින් පෙනී ගියේ ඝන කැලෑවට සහ මඩ වගුරුවලට යටින් මේ නගරය ප්‍රධාන ගොඩබිම දෙසට අතිදැවැන්ත ලෙස විහිදී යන නාගරික ජාලයක් බවයි. ඒ අනුව මෙතෙක් කල් මතුපිටින් පෙනෙන්නට තිබුණේ මුළු නගරයෙන් 20%ක් වගේ සුළු කොටසක් පමණක් වන අතර, නන් මාඩොල් කියන්නෙ ඒ කාලයේ පැසිෆික් කලාපයේ තිබූ දැවැන්තම මහා නගරය බව තහවුරු වුනා.
නගරය පුරා විහිදෙන ඇල මාර්ග ස්වභාවිකව හැඩගැසුණු ඒවා නොවන බවත් LiDAR දත්ත මඟින් පැහැදිලි වුනා. පස සහ මඩ තට්ටු විනිවිද බැලූ විට, මුළු නගරයම එකිනෙකට සම්බන්ධ වන පරිදි ජ්‍යාමිතිකව ඉතා නිවැරදිව කපා ඇති කෘතිම ඇල මාර්ග පද්ධතියක් මතු කරගන්න හැකි වුණා. මේවා සාගර රළ පහරේ වේගය සහ පීඩනය පාලනය කරමින්, නගරය ඇතුළත ආරක්ෂිතව ඔරු ප්‍රවාහන කටයුතු සිදුකිරීම සඳහාම සැලසුම් කළ හයිඩ්‍රොලික් ඉංජිනේරු ක්‍රමවේදයක් බවත් තහවුරු වුනා.
රජු වාසය කළ මාලිගා සංකීර්ණවල සහ ප්‍රධාන බලකොටු තාප්පවල සිට පිටතට විහිදෙන, ඝන වනාන්තරය යට සැඟවී තිබූ රහසිගත පලායෑමේ මාර්ග සහ උමං කාණු පද්ධති රැසකුත් LiDAR කිරණ මඟින් අනාවරණය කරගැනිමට පුලුවන් වුනා. සතුරු ආක්‍රමණයකදී පාලකයන්ට සහ ප්රභූන්ට නගරයෙන් පිටතට හෝ ආරක්ෂිතව මුහුද දෙසට පලායාමට මේ මූලෝපායික මාර්ග භාවිත කරන්නට ඇති බව පර්යේෂකයන් විශ්වාස කරනවා.
නූතන විද්‍යාවට මේ තරම් දත්ත සම්භාරයක් සපයන නන් මාඩොල් නගරය වර්තමානයේදී බරපතළ පැවැත්මේ තර්ජනයකට මුහුණ පාලා තියෙනවා. ගෝලීය උණුසුම ඉහළ යාම නිසා මුහුදු මට්ටම ක්‍රමයෙන් ඉහළ යාම, කඩොලාන ශාකවල ඝන මුල් පද්ධති බැසෝල්ට් පවුරු අතරින් වර්ධනය වෙමින් ගල් කුළුණු එකිනෙකින් වෙන් කර බිඳ දැමීම සහ නිසි නඩත්තුවක් නොමැතිකම මෙයට ප්‍රධානතම හේතුයි.
මේ අනන්‍ය වූ මානව උරුමය විනාශ වීමෙන් වළක්වා ගැනීම සඳහා 2016 වසරේදී යුනෙස්කෝ සංවිධානය විසින් නන් මාඩොල් නගරය ලෝක උරුමයක් විදියට වගේම, වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අනතුරේ පවතින ලෝක උරුම ලැයිස්තුවට (List of World Heritage in Danger)ත් ඇතුළත් කරනු ලැබුවා.
කොහොම නමුත්, නන් මාඩොල් කියන්නෙ හුදෙක් අතීත ශිෂ්ටාචාරයක නටබුන් සමුදායක් පමණක් නෙවෙයි,ඒක මානව පරිණාමයේ සහ තාක්ෂණික විමධ්‍යගතකරණයේ සුවිශේෂී සන්ධිස්ථානයක්. ඊජිප්තුවේ පිරමිඩ, එංගලන්තයේ ස්ටෝන්හෙන්ජ් හෝ පේරු වල මාචු පික්චු තරම් ගෝලීය වශයෙන් ප්‍රසිද්ධියට පත් නොවුනත්, පැසිෆික් සාගරයේ දිය රැළි මත නිහඬව නැඟී සිටින මේ ශෛලමය අගනුවර, අතීත මානවයා සතු වූ අප්‍රකට තාක්ෂණයේ, අසමසම අධිෂ්ඨානයේ සහ සංස්කෘතික ප්‍රෞඪත්වයේ නොමැකෙන සාක්ෂියක් විදියට සදාකල් විද්‍යා ලෝකය අභියෝගයට ලක් කරමින් පවතිනු ඇති.
උපුටා ගැනීම : Timeline Tales

