තෝනිගල සෙල්ලිපිය මහසෙන් රජුගේ පුත් ශ්‍රී මේඝවරණාභය රජ සමයේ (ක්‍රි.ව 304-332) කරවා ඇති සෙල්ලිපියක් වන අතර මෙහි ඇති අක්ෂර ක්‍රි.ව. 4 වන සියවසට අයත් ඒවා බව අක්ෂර රූප විද්‍යාව අනුවද තහවුරුවී ඇත. එය බැංකු ක්‍රමය, පොලී ක්‍රමය හා ස්ථිර තැන්පතු ක්‍රමය සම්බන්ධයෙන් වන ලොව පැරණිතම ලියවිල්ලක් වන බව පුරාවිද්‍යා මතයයි.
මෙම සෙල්ලිපියේ සඳහන් කරුණු අනුව ක්‍රි.ව. 4 වන සියවස වන විටත් ශ්‍රී ලංකාවේ බැංකු ක්‍රමයක් තිබූ බවට ඇඟවේ. එය නූතන මූල්‍ය ආයතන මෙන් ගනුදෙනු කරුවන්ගෙන් තැන්පතු ලබාගෙන එම තැන්පතු ආයෝජනය කරමින් ලාභ ලබන්නටත්,එම ලාභයෙන් කොටසක් තැන්පතුකරුවන්ට පොලිය වශයෙන් ලබා දෙන්නට ඇති බවටත් සාක්ෂි සපයයි.
මෙම සෙල්ලිපිය සහිත පුරාවිද්‍යා ස්ථානය වවුනියාව දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන අතර වවුනියාව නගරයේ සිට ත්‍රිකුණාමලය දක්වා මාරගයේ කිලෝමීටර හතරක් පමණ දුරකින් මාරගය් වම්පසින් පිහිටා ඇත. මෙම ගම්මානය කුඩාකච්චකොඩිය ලෙසින් හැඳින්වේ. සෙල්ලිපිය කොටා ඇත්තේ එහි පොළෝ මට්ටමේම පිහිටි ගල් තලාවක් මත වීම විශේෂත්වයකි.. දෙමළ භාෂාවෙන් ‘තෝනි’ යනු ඔරුවයි. මේ සෙල් ලිපිය පිහිටි ස්ථානයට නුදුරෙන් පිහිටි ගල් තලාවේ, ඔරුවක හැඩය ගත් කුඩා පොකුණු කීපයක් ඇති බැවින්, මේ සෙල් ලිපිය අයත් පෙදෙස ම තෝනිගල වශයෙන් හඳුන්වා තිබේ. මෙම සෙල්ලිපියට අමතරව තවත් සෙල්ලිපි දෙකක්ද මෙම ස්ථානයේ දක්නට ඇත.
.

මෙම ලිපිය පිළිබඳ ව පළමුවෙන් 1886 දී හෙන්රි පාකර් මහතා විසින් විස්තර වාරතා කොට ඇති බවත්, පසුව 1892 දී එවකට ශිලාලේඛන බාර සහකාර පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ ඩී.එම්. ද ඉසෙඩ්. වික්‍රමසිංහ මහතා විසින් මෙහි තිබූ ලිපි පිටපත් කර එම වසරේම පාලන වාරතාවේ ශිලා ලිපි ලැයිස්තුවේ වරතා කර ඇති බවත් සඳහන් වේ. පසුව පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී. බෙල් මහතාගේ අධීක්ෂණයෙන් යුතු ව මෙම ලිපියේ දෘෂ්‍ය පිටපතක් සකස්කර ඇත.
මෙම සෙල්ලිපිය අක්ෂර පේළි 17කින් යුක්ත යි. මෙහි මුල් අක්ෂර පේළි හතර අඩි 9ක් දිගින් ද පහේ සිට දහසය දක්වා ඇති අක්ෂර පේළි අඩි 8ක් හා අවසාන අක්ෂර පේළිය අඩි 2ක් දිගින් ද යුක්ත වන අතර අක්ෂරයක සාමාන්‍ය උස අඟල් 3 ක් පමණ වේ. වරෂ 1933 දී මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙහි ස්පරශ ලාංඡන පිටපතක් ගෙන මෙය කියවා පළ කර තිබේ. ( වැඩිදුර අධ්‍යනය සඳහා Inscriptions of ceylon)
සෙල්ලිපියේ සඳහන් කරුණු වල අරුත
ශ්‍රී මේඝවරණාභය රජුගේ ඇමැතිවරයෙකු වූ කඩුබලගම වාසය කල පහිජසිවගේ පුත් දේව විසින් වෙළෙඳ ආයතනයක (කලහුමනක නම් මූල්‍ය ආයතනයක) ධාන්‍ය වර්ග කිහිපයක් තැන්පත් කර එය ස්ථිර තැන්පතුවක් වශයෙන් පවත්වා ගනිමින් එයින් ලැබෙන පොලී ප්‍රමාණයෙන් යහීස පවය (යහිසපබ්බත) නම් විහාරයේ පැවැත්වෙන අරියවංශ දේශණය නම් පිංකම වසරක් පාසා අඛණ්ඩව පැවැත්වීම සඳහා අවශ්‍ය දේ ගැනීමට සහ භික්ෂූන් වහන්සේලාට සිව්පසය දීමට කරන ලද පරිත්‍යාගයක් පිළිබඳව සඳහන් කරමින් මෙම සෙල්ලිපිය කරවා ඇත.
අනුරාධපුර නගරයෙන් උතුරු පැත්තේ කළහුමනක යන ස්ථානයේ මේ ධන්‍ය තැන්පත් කල බව සඳහන් වන අතර, දෙයාල දස අමුනක වී (යාල් 2, අමුනු 10 ක වී) , සය අමුනක උඳු සහ දස අමුනක මුං ඇට ඊට අයත්ය.
තවද, දෙයාල දස අමුනක වී සඳහා කන්න තුනෙහි පොලිය ලෙස 25 අමුණක වී ද, සය අමුනක උඳු සඳහා පොලිය ලෙස එක් අමුනු දෙපෑලක උඳු ද, මුං ඇට සඳහා පොලිය ලෙස අමුනු 10 ක මුං …ලෙසද සඳහන් වේ. එසේ සඳහන් කල පොලියේ මුල් කොටස නැවත බද්දේ තබා පොලිය පමණක් ගන්නා ලෙසද මෙහි සඳහන් වේ.
තවද තැන්පත් කල දෙවල් වලට ලැබෙන පොලියෙන් පින්කමට අවශ්‍ය දීකිිරි, මීපැණි, තල, දුංතෙල්, ලුණු, පිරිකර, බුලත්, පුවක් ආදිය ගැනීම හා දානය පිසීමෙහි මිල දීමනා මෙයින් කිරීමටද දන්වා ඇත.
ඇමති පුත් දේව නමැත්තා මෙම මූල්‍ය ආයතනයේ තැන්පත්කොට ඇති ධනය වන්නේ ධාන්‍යයයි.එහි පොලිය හරවන්නේ පින්කම සඳහා අවශ්‍ය දේවල් මිලදී ගැනීමටයි. මෙම කරුණු වලින් සනාථ වන්නේ ධාන්‍ය බැංකුවක මේවා ගබඩා කර ඇති බවකි. තැන්පත් කලේ ධන්‍ය වුවද පොලිය වශයෙන් මුදල් ගෙවා ඇති බවට අනුමාන කල හැක. තවද මෙම කරුණු වලින් තහවුරු වන්නේ එම කාල වකවානුවේදී මෙරට මුදල් කළමනාකරණය නිසි පරිදි ක්‍රියාත්මක වෙමින් තිබූ බවයි.
මෙම ස්ථානයට නුදුරින් වෘත්තාකාර ගොඩනැගිලිවල පාදම්(අත්තිවාරම්) දකින්නට තිබෙන අතර මෙම වෘත්තාකර පදනම් ධාන්‍ය ගබඩාවල අත්තිවාරම් බවට විශ්වාස කෙරේ. මීට අමතරව පොකුණු තිබූ බවටද සාධක ඇත. තවත් ගොඩනැගිලි ඉදිකර තිබූ බවට සනාථ වන කණු පාදම් ගල් ( දැව කණු සිටුවීමට සිදුරු කපන ලද කළුගල් )මේ අවට දැකගත හැක. මේ වන විට තහවුරුවී ඇත්තේ එය කලහුමනක නම් බැංකුවම බවයි.
පස්වලින් වසා රැක ගත් සෙල් ලිපිය
පසුගිය යුද සමයේ වවුනියාව අවට දරුනු සටන් ඇවිළුනු ප්‍රදේශයක් වුවද පුරාවිද්‍යා නිලධාරින් සහ ත්‍රිවිධ හමුදාව එක්ව මෙම සෙල්ලිපිය මෝටාර් උණ්ඩ, බෝම්බ හෙළීම් ආදියෙන් ආරක්ෂා කරගැනීම සඳහා ලිපිය තිබෙන පර්වත සීමාව වටා ගඩොල් බැම්මක් බැඳ පස් තට්ටුවකින් මුළු සෙල් ලිපියම වසා දැමීමට කටයුතු කර ඇත. සිය ජීවිත අවධානමද නොතකා එසේ කටයුතු කල නිලධාරින්ට අපගේ කෘතඥතාවය හිමිවිය යුතුය. පුරාවිද්‍යා දෙපාරතමේන්තුවේ අවසරය හා නිරදේශය මත මෙම සෙල් ලිපිය වසා තිබූ පස් තට්ටුව පසුගිය දා ඉවත් කිරීම සිදුවූ අතර පස් ඉවත් කර පාදා ගත් සෙල්ලිපිය නැවත පිටපත් කිරීමට ද පුරාවිද්‍යා නිලධාරින් පසුගිය දිනවල කටයුතු කළ අතර දැන් මහජනයාට එය නැරඹීමේ හැකියාව ඇත.
මෙම සෙල්ලිපිය පිළිබඳ අධ්‍යනය කිිරීමේදී එවක සිටි ශ්‍රේෂ්ඨ පැරැන්නන් තුල බුදු සසුන කෙරෙහි තිබූ අපරිමිත ශ්‍රද්ධාව, අධිෂ්ටානය හා කැපවීම මනාව පිළිබිඹු වේ. වත්මන් සමාජයේ ඇතැමෙක් පැරැන්නන්ගේ ක්‍රියා දෙස බලා අතීත පෞඩත්වය ගැන උදම අනමින් නොසිට එම ඉතිහාසය වත්මනෙහි සැබෑවක් කර ගැනීමට ආකල්පමය වෙනසක් තුලින් කැපවීමෙන් කටයුතු කලයුතුව ඇත.
තොරතුරු සම්පාදනය
සමන් කුමාර දෙල්දෙණිය මහතාගෙනි.
පුරාවිද්‍යා නිලධාරි.
(ඡායාරූප මුල් හිමිකරු සතුය)
Pathiru / පතිරූ


