in

ඕකිඩ් වල විවිධත්වයට හේතුව විවිධ කෘමීන් ඇසුරෙන් ඒවා පරාගණය වීමද?

සරලව විස්තර කළොත් පරාගණය යනු මලක රේණුවල ඇති පරාග ගෙනගොස් වෙනත් මලක ඩිම්බයේ තැවරීමෙන් ඇතිවෙන ප්‍ර‍ජනනීය ක්‍රියාවයි. එමගින් මල ඵලයක් බවට පත්වී ශාකයේ ඊලඟ පරපුර ඇතිකිරීමේ ක්‍රියාවලිය සිදුවේ. බොහෝ මල්වල මෙකී පරාගණය ඉටුකරන්නේ මීමැස්සන්, සමනලයන් වැනි කෘමීන් විසිනි. එනිසා පරාගණය සිදුකරන කෘමිසත්තු ශාකවල ඵල දැරීමට අත්‍යවශ්‍ය සාධකයකි.

මෙතරම් විවිධ ඕකිඩ්වර්ග ඇතිවීමට හේතුව ඒවා පරාගණය කරන මීමැස්සන් සහ අනෙකුත් කෘමීන්ගේ හැසිරීම බව ඒ සම්බන්ධයෙන් කළ පර්යේෂණයකින් අණාවරණය වී තියෙනවා. ඕකිඩ් වර්ග ඇතුළත්වන ඕකිඩේ (Orchidaceae) පවුලට ඕකිඩ් වර්ග 22,000කට අධික ප්‍ර‍මාණයක් අයත්. ඒ ඕකිඩ් වර්ග වලින් වැඩිකොටසක් පරිසරයේ පැතිරෙන්නේ එක් ඕකිඩ් පැලෑටියකින් තවත් ඕකිඩ් පැලෑටියකට පරාග ගෙනයන කෘමිසත්වයන් නිසායි.

ඕකිඩ් විශේෂ වල මේසා විවිධත්වයක් ඇතිවීමට හේතුව ඒවා පරාගණය කරන කෘමිසතුන් විය හැකියැයි ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් සරසවියේ ටිමි බැරක්ලෆ් සහ ඔහුගේ කණ්ඩායම අනුමාන කළා. ඒ අනුව ඔවුන් දකුණු අප්‍රිකාවේ කුඩා ප්‍රදේශයක හැදෙන කොරිසිනේ (Coryciinae) නැමැති උපගෝත්‍ර‍යට අයත් ඕකිඩ් විශේෂ 52කක් පරීක්ෂාවට ලක් කළා. මේ ඕකිඩ් විශේෂ පරාගණය සඳහා අවශ්‍ය කෘමිසතුන් තමන් වෙතට කැඳවාගන්නේ සිය මල් කෙමි ගැඹුරේ නිපදවෙන තෙල් වර්ගයක් නිසයි. එම තෙල් ලබා ගැනීමට කෘමි සතුන් මල්කෙමිය පතුලටම එබෙනවා.

සිය නිරීක්ෂණවලට  ලක් වූ ඕකිඩ් විශේෂ වල ජාන සංයුතිය සසඳා බැලූ ටිම් ඇතුලු කණ්ඩායම වවිධ කෘමි විශේෂ එකී එක් එක් ඔකිඩ් විශේෂ හා සම්බන්ධ වන අන්දමද විමසා බැලුවා. එහිදී සොයාගත් වැදගත් කරුණක් වූයේ මෑතක් වනතෙක් එකම විශේෂයක්ව සිට විශේෂ දෙකක් බවට පරිණාමය වූ ඕකිඩ් වර්ගයක ඒ විශේෂ දෙක පරාගණය කරනු ලැබුයේ එකිනෙකට වෙනස් කෘමින් වර්ග දෙකක් විසින් බවයි.

ඒ හැර එකම කෘමියෙක් විසින් පරාගණය කරනු ලබන ඕකිඩ් වර්ග අතලොස්සක් තිබුනද ඒවා පරාගණය කිරීමේදී එක් එක් ඕකිඩ් විශේෂවල පරාග රැ‍‍‍‍ඳෙන්නේ ඒ කෘමියාගේ ශරීරයේ එකිනෙකට වෙනස් කොටස්වල බවද පර්යේෂකයන්ට දැනගන්නට ලැබුණා. උදාහරණයක් වශෙයන් ගත්තොත් ටෙරිගොදියම් පෙන්තෙරිඅනුම් (Pterygodium pentherianum ) සහ ටෙරිගොදියම් චෙල්පෙයි (Pterygodium schelpei)නැමැති එක ළග වැවෙන ඕකිඩ් වර්ග දෙක සමබන්ධයෙන් බැලුවිට පළමුවෙනි වර්ගයේ ඕකිඩ්වල පරාග මීමැස්සන්ගේ ඉදිරි පාද මගිනුත් දෙවැනි වර්ගයේ පරාග මීමැස්සන්ගේ උදරයේ තැවරීමෙනුත් සංක්‍ර‍ණය වෙන බව දැනගන්නට ලැබුණා. මේ අනුව එම දෙවර්ගයේ පරාග එකිනෙක හා මිශ්‍ර‍වීමෙන් වැලකී ඕකිඩ් දෙවර්ගයම එකලෙස පැතිරීම තහවුරු වෙනවා.

ඹ්කිඩ් පැලෑටියේ මුල් හා සහජීවනයෙන් ජීවත්වෙමින් ඇතැම්විට ජාලගතව පොළොවයටින් එක්වන මයිකොරිසා නම් දිලීර වර්ගය පිළිබඳවද බැරක්ලොෆ් පරීක්ෂාකර බැලුවා. මෙහිදී එකිනෙකින් වෙනස් ඕකිඩ්වර්ග එකම දිලීරය හා සහජීවනය කරන බැව් නිරීක්ෂණය කළ පර්යේෂකයෝ ඕකිඩ්වල ජෛව විවිධත්වයට දිලීර බල නොපාන බව නිගමනය කළා. තම නිරීක්ෂණ පැහැදිලි කරන බැරක්ලොෆ්‍ෙ “මේ තරම් විවිධ ස්වරූපයෙන් යුත් ඕකිඩ් විශේෂ බහිවීමත් එසේ බිහිවූ පසු ජාන මුහුකරගැනීමකින්තොරව අසල්වැසියන්ලෙස ජීවත්වීමට ඒවාට හැකිවීමත් ගැන අපි බොහෝ දේවල් දැනගත්තා” යනුවෙන් පැවසුවා.

මේ පර්යේෂණ ගැන තම අදහස පළ කළ කොර්නෙල් සරසවියේ ක්රේග් බැරට් “මෙය ඉතාමත් සිත්ගන්නා සුලු පර්යේෂණයක්. මේ පර්යේෂණයේ නිගමන බොහෝ ඕකිඩ් විශේෂ වලට අදාල වෙන්නට පුලුවන්” යැයි පැවසුවා. ඒ කෙසේ වෙතත් බැරක්ලොෆ්ගේ පර්යේෂණයට ලක් වූ ඕකිඩ් විශේෂ වලට වඩා හාත්පසින් වෙනස් ඕකිඩ් වර්ගද ඇතිබව අප අමතක නොකළ යුතු බව බැරට් මතක් කරනවා. උදාහරණයක් වශයෙන් ඕකිඩ් විශේෂ අතරින් අතලොස්සක් කෘමීන්ගේ ආධාරයකින් තොරව ස්වයංපරාගණය සිදුකරගන්නා ඒවා බවත් බොහෝ කොල රහිත ඕකිඩ් වර්ග ජීවත්වන්නේ දිලීර පමණක් ආහාරයට ගැනීමෙන් බවත් බැරට් පෙන්වා දෙනවා.

උපුටා ගැනීම: thathu.com

What do you think?

Written by Mic

නෑමෙන් පසු ඇඟිලි රැළි වැටී වර්ණය වෙනස් වන්නේ ඇයි?

රෑ බෝවුණු බව මදුරුවෝ දැන ගන්නේ කොහොමද?