ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

විවාහ අපේක්ෂිත තරුණ තරුණියන් කවුරුත් පාහේ උනන්දු වන්නේ තම අතගන්නා සහකරු හෝ සහකාරිය කවදා කෙලෙස කොයි ප්‍රදේශයෙන් තමාට හමුවේදැයි දැන ගැනීමටය. ඔබ තරුණයෙක් හෝ තරුණියක් නම් මේ වන විටත් ඔබ සම්බන්ධව ජ්‍යොතිෂවේදීන් වෙතින් විමසා ඇසුවාට සැක නැත. තමාට ලැබෙන සහකරු හෝ සහකාරිය පිළිබඳ තොරතුරු පැවැසෙන්නේ ඕනෑම ජන්ම පත්‍රයක 7 වැන්න හෙවත් කලත්‍ර ස්ථානයෙනි. ඕනෑම ජන්ම පත්‍රයක 7 වැන්නට යෙදෙන රාශියත්, 7 වැන්නේ තැන්පත් ග්‍රහයනුත්, 7 වැන්නාධිපති තැන්පත් ස්ථානයත් 7 වැන්නට ලැබෙන සුබ අසුබ දෘෂ්ටීන්, 7 වැන්නාධිපතිට ලැබෙන සුබ අසුබ දෘෂ්ටීන් මත ඕනෑම අයකුගේ විවාහය සම්බන්ධව පැවැසිය හැකි කරුණු කාරණා බොහෝය. මීට අතිරේකව චන්ද්‍රයාගෙන් මෙන්ම සිකුරුගෙන් 7 වැන්නද 7 වැන්නෙන් 7 වැන්නද විවාහය සම්බන්ධ තතු විමර්ශනයේදී වැදගත්ය. කෙසේ නමුත් ජන්ම පත්‍රයක 7 වැන්නත් 7 වැන්න අධිපතිත් නිවැරැදිව හඳුනා ගැනීම ඉතාම වැදගත්ය. මේ සඳහා නිදසුනක් ලෙස මේෂ ලග්නයේ 7 වැන්නාධිපති සොයමු.

* 7 වැන්නාධිපති ග්‍රහයා ලග්නයේ නම් ප්‍රේම සම්බන්ධතාවක් මත බොහෝ විට විවාහය සිදුවේ. ඉතාම පහසුවෙන් තම සහකරු හෝ සහකාරිය හමුවේ. බොහෝවිටම ඔහු හෝ ඇය ඔබ සොයා පැමිණේ. ඔබ උපන් ප්‍රදේශයට නැඟෙනහිර ප්‍රදේශයෙන් ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති ග්‍රහයා දෙවැන්නේ නම් බැංකුවක් වැනි මුදල් ගනුදෙනු කරන ස්ථානයකදී හෝ එවැනි ක්‍රියාවකදී හෝ ගායනය මෙන්ම කථිකත්වය ඉස්මතු වන අවස්ථාවක තම සහකරු හෝ සහකාරිය හමුවේ. උපන් ප්‍රදේශයට නැඟෙනහිර දිශාවෙන් තරමක් ඊසානට බරව ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති ග්‍රහයා 3 වැන්නේ නම් සහෝදර සහෝදරියන් මගින් හෝ පිය පාර්ශ්වයේ ඥාතීන් මගින් සහකරු හෝ සහකාරිය හමුවේ. එය බොහෝ විට විනෝද ගමනක් වැනි කෙටි චාරිකා අවස්ථාවක විය හැකිය. ඔහු හෝ ඇය ජනප්‍රිය අයකු වීමට ඉඩ ඇත. ඔබ උපන් ප්‍රදේශයට උතුරින් ඊසාන දිශාවට බරව ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති ග්‍රහයා 4 වැන්නේ නම් මව් පාර්ශ්වයේ ඥාතීන් මාර්ගයෙන් නිවෙසේ යම් උත්සව අවස්ථාවක හෝ ඉඩකඩම්, යානවාහන ආදිය මිලට ගැනීමේ අවස්ථාවක හෝ එවැනි ස්ථානයකදී ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ. ඔහු හෝ ඇය බුද්ධිමත්ය. උගත්ය. ගේ දොර ඉඩකඩම් වාහන හිමි අයෙකි. ඔබ උපන් ප්‍රදේශයට උතුරින් ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති 5 වැන්නේ නම් අධ්‍යාපන කටයුත්තකදී බොහෝ විට සහකරු හෝ සහකාරිය හමුවේ. බොහෝ විට ප්‍රේම සම්බන්ධයක් මත විවාහය සිදුවේ. කලාත්මක අංශයේ වෘත්තියක නියුක්ත වීමේ ඉඩකඩ වැඩිය. ඔබ උපන් ප්‍රදේශයට උතුරින් වයඹ දිශාවට බරව ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති 6 වැන්නේ නම් සේවකයකු හෝ මාමා වැනි ඥාතියකු මාර්ගයෙන් සහකරු හෝ සහකාරිය හමුවේ. විරුද්ධමත ධාරියකු වීමට බොහෝ ඉඩකඩ පවතී. කල්පවත්නා නිධන්ගත රෝගී තත්ත්වයකින් පෙළීමට ඉඩ ඇත. වහා කිපෙනසුලු දුරදිග නොබලා කටයුතු කරන අයෙකි. ඔබ උපන් ප්‍රදේශයට බටහිරින් වයඹ දිශාවට බරව ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති 7 වැන්නේම නම් හවුල්කරුවකු මාර්ගයෙන් හෝ ඥාති පසුබිමක මාර්ගයෙන් හෝ සහකරු හෝ සහකාරියගේ පෙලඹවීම මත විවාහය සිදුවේ. ආගමට දහමට ළැදි ගුණ යහපත් අයෙකි. හුදෙකලාව ප්‍රිය කරයි. බොහෝවිට ප්‍රධානත්වයක් උසුලයි. ප්‍රේම සම්බන්ධයක් මත විවාහය සිදුවීමේ ඉඩකඩ වැඩිය. ඔබ උපන් ප්‍රදේශයට බටහිරින් ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති 8 වැන්නේ නම් හදිසියේ අවමංගල්‍ය උත්සව අවස්ථාවක හෝ හදිසි අනතුරු, රෝගී වැනි අවස්ථාවක හෝ ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ. බොහෝ විට සිතුම් පැතුම් නොගැළපෙයි. තරමක් කපටි චරිතයකට හිමිකම් කියයි. ගුණ යහපත්කමින් අඩුය. ඔබ උපන් ප්‍රදේශයට බටහිරින් නිරිත දෙසට බරව ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති 9 වැන්නේ නම් ආගමික ස්ථානයක ආගමික උත්සව අවස්ථාවක, වන්දනා චාරිකා වැනි දීර්ඝ ගමනකදී හෝ විදේශ ගමනකදී වැඩිහිටි ඥාතීන් මාර්ගයෙන් ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ. බොහෝ විට ඔබ අතපතා ගෙන එන අයකු විය හැකිය. සැහැල්ලුවෙන් ජීවත්වන අයෙකි. ගුණ යහපත්ය. ධාර්මිකය. ඔබ උපන් ප්‍රදේශයට දකුණින් නිරිත දෙසට බරව ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති 10 වැන්නේ නම් රැකීරක්ෂා කටයුතුවලදී ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ. රාජ්‍ය අංශයේ හෝ ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු විය හැකිය. උත්සාහවන්ත ගුණ යහපත්කමින් පරිපූර්ණ ධාර්මික අයෙකි. සැලැසුම් සහිතව ජීවිතයට මුහුණ දෙයි. ඔබ උපන් ප්‍රදේශයට දකුණින් ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති 11 වැන්නේ නම් වැඩිමහල් සහෝදරයකුගේ මාර්ගයෙන් හෝ මිතුරන් මාර්ගයෙන් හෝ හදිසි ධන ලාභයක් වැනි අවස්ථාවක හෝ ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ. බොහෝ විට ප්‍රේම සම්බන්ධතා මත විවාහය සිදුවේ. උත්සාහවන්ත කඩිසර අයෙකි. ඉක්මනින් දියුණුවන අයෙකි. ඔබ උපන් ප්‍රදේශයට දකුණු දෙසින් ගිනිකොන දෙසට බරව ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

* 7 වැන්නාධිපති 12 වැන්නේ නම් රෝහල්, උසාවි, බන්ධනාගාර, ඖෂධහල්, සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන හෝ සමාජ සේවා ආයතනයකදී ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ. ඔහු හෝ ඇය වියදම් වැඩි විනෝදයට බර අයෙකි. විදෙස් රැකියාවක නියුතු අයකු වීමට ඉඩ තිබේ. ඔබ උපන් ප්‍රදේශයට නැඟෙනහිරින් ගිනිකොන දිශාවට බරව ඔබේ සහකරු හෝ සහකාරිය හමුවේ.

ඉහත අනුදිශාවකට බරව යනුවෙන් සඳහන් කළ සෑම අවස්ථාවකම මූලිකත්වය හිමි වන්නේ ප්‍රධාන දිශා සතරින් එකකට බව සිහියේ තබාගන්න. ඉහත සවිස්තරව දක්වා ඇති ආකාරයට ඔබත් ඔබගේ ජන්ම පත්‍රයේ 7 අධිපති හැඳින ඔබට මංගල සීනු හැඬවෙන්නේ කොයි දිශාවෙන්ද කෙලෙසකද යන වග දැනගන්න. එසේම විවාහය සිදුවන කාලය දැනගත හැකි ක්‍රම ලෙස 7 වැන්නේ තැන්පත් ග්‍රහයකුගේ මහ දශා හෝ අතුරු දශාවකදී, ජන්ම පත්‍රයේ සඳු සිටින ස්ථානයෙන් 7 වැන්නේ සිටින ග්‍රහයාගේ කාලයේදී, ගෝචරයෙන් ගුරු බලවත් වන කාලයේදී, ගුරුගේ මහ දශා අතුරු දශා කාලවල, ගෝචරයෙන් ගුරු 7 වැන්නට දෘෂ්ටි දෙන විට, 7 වැන්නාධිපති සිටින ස්ථානය හරහා ගුරු ගෝචරය වන විට, කුජ සිටින ස්ථානය මතින් ගුරු ගෝචරය වන විට, කුජ සිටි ස්ථානයෙන් 7 වැන්නේ ගුරු ගෝචරය වන විට, විවාහ කාරක සිකුරු වැනි ග්‍රහයකුගේ දශාවක් තුළ ලග්නය 3, 4 ස්ථානයක සිටින ග්‍රහයන්ගේ දෘෂ්ටිය ගෝචරයෙන් 7 වැන්නට වැටෙන විටද වැනි අවස්ථාවක විවාහයක් සිදුවේ යැයි නිසැකවම කිව හැකිය. විවාහ අපේක්ෂිත ඔබට ජය හා සතුට.

ජ්‍යොතිෂවේදී මහේන්ද්‍ර පල්ලෙබැද්ද

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © All rights reserved. | Newsphere by AF themes.