ග‍්‍රහ පිහිටීම් නොබැලූවොත් ප‍්‍රශ්න ගොඩයි

1 min read

මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ පටන් පවත්නා යුගදිවි ගමන දෙස බැලීමේදී සංවේදී වදන් දෙකක් හමුවේ. ඒ ආවාහ/සරණ  පාවාගැනීම (bring home a bride) හා දීගදීම/විවාහය (give in marriage)  යන දෙවදනයි.

මානව සංහතිය පවත්නා තාක්කල් පවතින මෙම සිද්ධිදාමය මිනිස් දිවියේ හැරවුම් ලක්ෂ්‍ය (Turning Point) සේ පෙනේ.

එකිනෙකට වෙනස් සිතුම් පැතුම් හා චෛර්යා ධර්මවලින් යුතු දෙහදක ගමන  ගෙනයෑමට අදාළ ශක්තිය කුමක් විය හැකිද? ඉඳුරන් පිනවීමට ඇති ශක්තිය මත පාදකවන සිද්ධිදාමයක් ද? කායික සංසිද්ධියකට පමණක් නතු වූ සබඳතාවක චිර පැවැත්මක් කිසිසේත් ඇතිවිය නොහැක. එසේ නම් මේ ගමන බැඳ තබන රැුහැන් පට කුමක් විය හැකිද ?

මේ වූකලි දෙදෙනාගේ ජන්ම පත‍්‍රයේ පරම පවිත‍්‍ර වූ ආදරය නමැති චෛතසික ධර්මතාව ගෙනයෑමට තිබූ පිහිටීමේ ශක්තියයි.

ආදරයේ සජීව ආනන්දය මුළු දිවිය පුරා නොබිඳී නොවිසිරී තබා ගැනීමට ග‍්‍රහ බලය තරම් උපයෝගි වන වෙනත් ශක්තියක් ඇතැයි නොසිතමි.

සහෘද පාඨක පිරිසගේ යහපත පිණිස සහ ඔවුන්ගේ දිවි මගට සහන් එළියක් ලබාදීමේ අරමුණින් විවාහ දිවියට එළඹීම සඳහා ක‍්‍රියාකාරී විය යුතු ආකාරය ඉතා සරලව ජ්‍යොතිෂ්‍ය සිද්ධාන්ත මගින් පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණ වේ.

පළමුව හඳුනාගත්, තෝරාගත් අයගේ ජන්ම පත‍්‍රයේ ලග්නාධිපතිගේ තත්ත්වය විමසිය යුතුය. තම ජන්ම පත‍්‍රයේ ලග්නාධිපති හා තම සහෘදයාගේ ජන්ම පත‍්‍රයේ ලග්නාධිපති අතර ඇති සම්බන්ධතාව මිත‍්‍රත්වය සමානාත්මතාව ගැළපීම දැඩි විමසුමට ලක්විය යුතුය.

යුගදිවි මග සහනශීලීව සතුටින් හා ආර්ථික සමෘද්ධියකින් යුතුව ගෙන යෑමට පාදක වන කරුණු රාශියක් මෙම ලග්න දෙකේ

ලග්නාධිපතිගේ සමානත්වය මත රැුඳී ඇති බව පැවසිය යුතුය.

ඉතා සරල උදාහරණයක් මගින් පවසතොත්, ලග්නාධිපති බලවත්ව මිතුරුව 1, 2, 4, 9, 11 යන ස්ථානයක දෙදෙනාගේ කේන්ද්‍ර දෙකේ පිහිටීම මත පිවිතුරු, දැහැමි, සත්පුරුෂ ගුණාංග වලින් හෙබි අයෙකුගේ ගති ලක්ෂණ එමඟින් හෙළි දැක්වෙන අතර මිහිරෙන් බැඳි සහනශීලී දිවියක ‘‘මිහිර’’ විඳීමට ඉවහල්වන පදනම බව පෙනී යයි.

දෙවනුව දෙවැන්නාධිපතිගේ තත්ත්වයද විමසුමට ලක්විය යුතුය. එයද අත්‍යවශ්‍ය සාධකයකි. එමගින් ලැබෙන සහකරුගේ ගති ලක්ෂණ, ආර්ථික ශක්තිය, අදහස්වල සමබර බව කථාබහ විවාහයෙන් පසු ගත කරන කාලය දියුණුව හා පිරිහීම ආදී බොහෝ දෑ මෙහිදී විවරණය කළහැකි ස්ථානයයි. සරලව එක් උදාහරණයක් පැවසුවහොත් දෙවැන්නාධිපති පුණ්‍ය ස්ථානගතවී බලවත් ව සිටීම මගින් මෙම ශුභවාදී පරිසරය මනාව ශක්තිමත් වන බවද සැලකිය යුතුවේ.

තුන්වැන්නද මෙහිලා පාදකවන අනෙක් ස්ථානයයි. ඥාති සම්බන්ධතාව සහෝදර බැඳියාව ඔවුන්ගෙන් යුගදිවියට ලබාදෙන සහාය සහ අනුග‍්‍රහය මනාව විවරණය වේ.

හතරවැන්න අනෙක් ප‍්‍රධාන ස්ථාන අතරින් මතු වී පෙනෙන තැනයි. මෙය හිත පිළිබඳ ස්ථානයයි. ගේ දොර ඉඩකඩම් යාන වාහන ආදී භෞතික සම්පත් ලබාදෙන දෙමාපිය උපකාර නොඅඩුව ලැබෙන නීරෝගී සුවය ලැබීම පිළිබඳ ස්ථානය වන බැවින් දෙදෙනාගේ ජන්ම පත‍්‍රවල සමානාත්මතාව දැඩි ලෙස විමසුමට ලක්විය යුතුව ඇත.

පස්වැන්න ඊළඟ ස්ථානයයි. දාරක සෙනෙහස විඳීමේ වාසනාව, උගත්කම අන්‍යොන්‍ය බැඳීම වාසනා ගුණය මෙහිදී මනාව සලකා බැලීම කෙරේ.

හත්වැන්න බොහෝ දෙනා දන්නා ආකාරයට විවාහස්ථානයයි. යුගදිවියේ චිරජීවනය තහවුරු කරන තැනයි. දෙදෙනාගේ කායික සමරූපකාව, සහසම්බන්ධය, චරිත පාරිශුද්ධිය, මිත‍්‍රත්වය අනුල්ලංගනීය විශ්වාසය තහවුරු වන ස්ථානයයි.

මෙයට අමතරව 8 වන ස්ථානයද යුගදිවි

ගමනට ලබාදෙන සහාය සුළුපටු නොවේ. ආයුෂ ප‍්‍රමාණය දෙදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය මෙහිලා එකිනෙකාගේ කැපවීම සුරක්ෂිත සහනශීලී නීරෝගි පැවැත්මට ලැබෙන ශක්තිය හදිසි අනතුරු මෙහිදී දැඩි විමසුමට ලක්කෙරේ. සහකරුගෙන් ලැබෙන ආර්ථික හා සාමාජික සහයෝගීතාවේ ස්වභාවයද මෙම ස්ථානයෙන් මනාව පෙන්වා දෙනු ලබයි.

යුගදිවියේ පැවැත්මට සුවිශේෂී ස්ථානයක් වන පුණ්‍යස්ථානය හෙවත් 9 වැන්නද පිරික්සුමට ලක්කිරීම අත්‍යවශ්‍ය වේ. සසර ගමනේදී එකිනෙකා අනපේක්ෂිත ලෙස දිගු ගමනක් යෑමට මුණ ගස්වනු ලබන ශක්තිය මෙම ස්ථානයෙන් මනාව නිරූපණය කරනු ලබයි. එය නියත සිද්ධාන්තයකි. ජ්‍යොතිෂ විද්‍යාව නමැති විෂය දහරාව මැනවින් අධ්‍යයනය කිරීමේදී මෙම ස්ථානයේ බලය මගින් ජන්මියාගේ ජීවන ගමන කුමන අයුරකින් ගත කරනු ලබන්නේද යන්න මැනවින් විස්තර කිරීමට හැකි වටිනා ස්ථානයයි.

මෙහිදී පෙර වාසනා ගුණය තුළින් ආර්ථික සමෘද්ධිය, ජීවන වෘත්තිය, සමාජීය පරිසරය, සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ඇති ඉඩ හසර ආදී විවිධාකාර පැති නියෝජනය කරනු ලැබේ. මෙම පරිසරය මනා විශ්ලේෂණයට ලක් වීම තුළින් ඔවුන්ගේ වත්මන් දිවිගමන ශුභවාදී ශුභ මාවතකට යොමු වීමට අදාළ පරිසරය මැනවින් පහදා දිය හැක.

දැහැමි සුචරිතවත් දිවිගමනකට අදාළ චරිත දෙකක් සහනශීලීව ගෙන යෑමට ඇති ශක්තිය ද මෙම ස්ථානයේ ශක්තිය මත රඳා පවතින බවද පැවසිය යුතුය.

එකොළොස්වැන්නද අත්‍යවශ්‍ය ස්ථානයකි. හේතුව, යුගදිවියේ චිර පැවැත්මට අදාළ පරිසරය මේ තුළ රඳා ඇති බැවිනි. එසේම දිවිමග ගෙනයාමට අදාළ ආර්ථික ශක්තිය සහෝදර උපකාර හා සහයෝගය මිත‍්‍ර සම්බන්ධතා සහ ඔවුන්ගේ සහාය සහ අනුග‍්‍රහය ලැබී මේ සියලූ පාර්ශ්වවල ආලෝකයෙන් යුගදිවි ගමනේ සුඛනම්‍ය බැඳීම මනාව තහවුරු කරන ස්ථානය වන බැවිනි.

ඉහත කී ස්ථානවල අධිපති ග‍්‍රහයින් දෙදෙනාගේ ජන්ම පත‍්‍ර දෙකේ පිහිටා ඇති ආකාරය මැනවින් විශ්ලේෂණය කිරීම තුළින් නිගමනයකට එළඹීම මත ඉතා යහපත් ආදර්ශවත් පිවිතුරු යුගදිවියක ආලෝකය දක්නට ලැබෙනවා ඇත. කෙනෙකුට රූමත්, ගුණවත්, උගත්, චරිතවත් අයෙකු ලැබීම හෝ නොලැබීම උත්පත්ති බලය මත තිබේද නැද්ද සහනශීලී දිවිමගක් ගෙන යා හැකිද නැද්ද ආදී විවිධාකාර කරුණු රාශියක් ඉහත කී ස්ථාන පිරික්සුම මගින් පිං බර දිවිමගකට මාවත සකසා ගත හැකි බව පෙනේ. ඉහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු නොකොට දෙදෙනකුගේ අන්‍යොන්‍ය බැඳීම ආවේගයන්ට හා හැඟීම්වලට පමණක් නතු වී පියවර ගැනීම තුළින් ‘‘කඳුළ පෙරටත්’’ ‘‘සැනසීම අඳුරටත්’’ සතුට මැකී යෑමටත් හේතුවන බව පැහැදිලි විය යුතුය. විවාහ වන අය විසිපොරොන්දම බැලීමද සිදු කරන බව බොහෝ දෙනකු දන්නා කරුණකි. මෙය ද ඉතාම විද්‍යානුකූල පරීක්ෂණයකි. මේ මගින් දෙදෙනාගේ ලේවල ගුණාත්මක භාවය, ජීව ශක්තිය, මානසික සමබරතාව, දාරකවාසනා ගුණය ලිංගික ජීවිතයේ සමබරතාව එහි සතුට හා අසතුට සිතුම් පැතුම් වල සමබරතාව ආදිය මැනවින් විවරණය කරනු ලබයි. මෙම විසිපොරොන්දම් 100% ගැලපුන යුගදිවි අකාලයේ කැඞී බිඳී ගිය අවස්ථා අප‍්‍රමාණය. මෙයට පාදක වී ඇත්තේ ඉහත කී ග‍්‍රහ පිහිටීම පිළිබඳව අවධානය යොමු නොකිරීමයි. එම ග‍්‍රහ පිහිටීම පිළිබඳව ශුභවාදීව පැවැත්මක් දෙදෙනාගේ ජන්මපත‍්‍රවල තිබෙන විට යුගදිවිය කිසි කලෙකත් විසිරී නොයන බව සදාතනික සත්‍යයකි. යුග දිවිය වූ කලී විඳවන අවස්ථාවක් නොව විඳීමට අදාළ ඉමිහිරි අවස්ථාවක් බවද පැවසිය යුතුය.

ඔබ සැමට සතුට සෞභාග්‍ය හා නීරෝගී සුවය ලැබේවායි මම ඉත සිතින් ප‍්‍රාර්ථනා කර සිටිමි.

චාන්දනී කරුණානායක
හක්ගල්ල

සංස්කරණය – ගයාන් සමරසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © All rights reserved. | Newsphere by AF themes.