in

අසත්‍ය තොරතුරු වසංගතය, කෝවිඩ් 19 වසංගතයට වඩා වේගවත්

චීනයේ වුහාන් නගරය කේන්ද්‍ර කර ගනිමින් පැතිරුණු කෝවිඩ් 19 වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව සියලු රටවල්වලට අනතුරු අඟවා තිබුණේ ඉකුත් ජනවාරි මාසයේ පටන්ය. එහෙත් ඊයේ පෙරේදා විශේෂ නිවේදනයක් කරමින් එම සංවිධානය ඊටත් වඩා භයානක වසංගතයකට ලොව මුහුණ පා ඇතැයි යළි අනතුරු අඟවා තිබිණි. කෝවිඩ් 19 වෛරසය ලොව පුරා පැතිරෙන වේගයට වඩා සිය දහස් ගුණයක වේගයෙන් එම වසංගතය පැතිර යමින් තිබෙන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් හෙළි කෙරිණි.

එම වසංගතය නම් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වීමයි. Infodemic  නම් නව වචනයක් හඳුන්වා දෙමින් මෙම තත්ත්වය පිළිබඳ ලෝක අවධානය යොමු කරවන ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබුණේ,  Infodemic  spreads than pandemic යනුවෙනි. එනම්, වසංගතයට වඩා වේගයෙන් අසත්‍ය තොරතුරු වසංගතය පැතිර යන බවයි.

“අප සියල්ලන්ගේ පොදු සතුරා කෝවිඩ් 19 වසංගතයයි. ඒ වගේම අසත්‍ය තොරතුරු වසංගතයත් අපගේ සතුරෙක්” යනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ප්‍රකාශ කළේය.

චීනයේ වූහාන් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් කොරෝනා වෛරසය ලොව පුරා පැතිර යාමත් සමගම ලොව පුරා පැතිර ගිය මතයක් වන්නේ, චීනයේ ජීව රසායනික අවි සම්බන්ධ රහසිගත වැඩසටහනක ප්‍රතිඵලයක් වශයෙන් වෛරසය නිපදවා ඇති බවයි. ඊට පාදක වී තිබෙන්නේ ඊශ්‍රායල ඔත්තු සේවා නිලධාරියකු උපුටා දක්වමින් වොෂින්ටන් ටයිම්ස් පුවත්පත කරන ලද වාර්තා ද්විත්වයකි. එහෙත් ඒ සම්බන්ධ පුවත තහවුරු කිරීමට වොෂින්ටන් ටයිම්ස් පුවත්පත සතුව කිසිදු සාක්ෂියක් නොවූ අතර, ඒ පිළිබඳ බී. බී. සි ය ඇතුළු අනෙකුත් ප්‍රධාන පෙළේ නාලිකා විසින් කළ විමසීම්වලට ඔවුන් ප්‍රතිචාර දක්වා තිබුණේද මුණිවත රකිමිනි. එවැනි වෛරසයක් මුදා හැරි බවට කිසිදු ඉඟියක් හෝ සාක්ෂියක් නොමැති බවට ඊශ්‍රායල ඔත්තු සේවා නිලධාරීයාද පසුව පවසා තිබුණි. එහෙත් අදාළ වාර්තා දෙක සමාජ මාධ්‍යයන්හි සංසරණය වී තිබුණේ මිලියන ගණනිනි.

ඊටම සමාන ලිපියක් පළ කරමින් බ්‍රිතාන්‍යයේ ඩේලි ස්ටාර් පුවත්පත පවසා තිබුණේ ‘වෛරසය රහසිගත විද්‍යාගාරයක ආරම්භ වීමට බොහෝ දුරට ඉඩකඩ තිබිණැ ̓ යන්නයි. එහෙත් පසුව එවැන්නක් සනාථ කිරීම සඳහා සාක්ෂි නොමැති බැවින් ලිපිය නැවත සංස්කරණය කර පළ කර තිබුණි.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඉකුත් මාර්තු මස වන විට ලොව පුරා twitter ගිණුම් මගින් බිලියන 3 කට අධික පෝස්ට් නිර්මාණය වී ඇති අතර, බිලියන 100 කට අධික ප්‍රමාණයක් අතර ඒවා සංසරණය වෙමින් පැවති බව වාර්තා විණි. facebook හා twitter මගින් ප්‍රචාරය වන අසත්‍ය තොරතුරු ඒවායෙන් ඉවත් කිරීම සඳහා එම සමාජ ජාල විසින් මෙහෙයුමක් දියත් කර තිබෙන බවට පසුගිය දා බී. බී. සී නාලිකාව මගින් ප්‍රචාරය කෙරිණි. එම කරුණ හැබෑවක් බවට පත් කරමින්, ඉකුත් කාලයේ Facebook හා twitter මගින් ප්‍රචාරය වූ මිනිසුන් නොමග යවන පෝස්ට් ගණනාවක්ම මේ වන විට එම සමාජ ජාල බලධාරීන් විසින් ඉවත් කර තිබේ.

ඔවුන් ඒ සඳහා අත ගසා තිබුණේ, ලෝක නායකයින්ගේ සමාජ ජාල ගිණුම් පරීක්ෂා  කරමිනි. කොරෝනා වෛරසය සඳහා හයිඩ්‍රොක්ලෝරොක්වීන් නම් ඖෂධය සාර්ථක ප්‍රතිඵල අත් කර දෙන බව ප්‍රකාශ කරමින් බ්‍රසීල ජනාධිපති ජේර් බොල්සොනාරෝ විසින් සිය Facebook ගිණුමෙහි පළ කර තිබූ වීඩියෝවද, වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ twitter ගිණුම මගින් කොරෝනා වසංගතය සඳහා ප්‍රතිකාර ලෙසින් සඳහන් කර තිබූ අත් බෙහෙත් වට්ටෝරුද, අදාළ බලධාරීන් විසින් ඉවත් කෙරිණි.

කොරෝනා වෛරසය හා සටන් වදින අතරෙහි, අසත්‍ය තොරතුරු හා තහවුරු නොවූ තොරතුරු ප්‍රචාරය වීම වැළැක්වීම පිණිස කටයුතු කිරීමටත් මේ වන විට වෛරසයෙන් බැට කන සෑම රටක්ම පාහේ පියවර ගෙන තිබේ. සමාජ ජාල හා අනෙකුත් වෙබ් අඩවි වල ප්‍රචාරය වන සාවද්‍ය තොරතුරු පිළිබඳ පරීක්ෂා කිරීම පිණිස බ්‍රිතාන්‍ය රජය මගින් විශේෂ කණ්ඩායමක් පත් කර තිබේ. බොහෝ රටවල් අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන තිබෙන්නේ, ඒවා මගින් ඇති කරන අහිතකර බලපෑම බරපතල බැවිනි. එසේ වුවත්, තවමත් විශ්වසනීය නොවන තොරතුරු ලොව පුරා බිලියන ගණනින් මිනිසුන් ග්‍රහණය කර ගනිමින් තිබේ.

මෑතක සමාජ මාධ්‍යයන්හි අධික ලෙස සංසරණය වූ තවත් තොරතුරක් නම්, ‘කොරෝනා වෛරයස හමුවේ ඉතාලියට මින් ඉදිරියට කළ හැකි කිසිවක් නොමැති බවත්, මින් ඉදිරියට කළ හැකිව ඇත්තේ බලා සීටීම පමණක් බව ̓ත් ඉතාලි අග්‍රාමාත්‍ය ගුසේප් කොන්තේ ප්‍රකාශ කළැයි සඳහන් පෝස්ටුවයි. එය කොරෝනා වෛරසයෙන් බැට කන ලොව රටවල් ගණනාවක රාජ්‍ය නායකයින්ගේ හා ලොව පුරා ජනතාවගේ ධෛර්යය එකවර නසා දමන්නට තරම් ප්‍රබල ප්‍රකාශයක් විය. එම ප්‍රකාශය පිළිබඳ පසු විපරම් කළ තොරතුරු පරීක්ෂා කර බලන වෙබ් අඩවි ගණනාවක් එම තොරතුර සාවද්‍ය එකක් බවට හෙළි කර තිබුණි. India Today හි Anti Fake News War Room (AFWA) සඳහන් කර තිබුණේ, මෙම පුවත සාවද්‍ය එකක් බවත් ඉතාලි අග්‍රාමාත්‍යවරයා කිසිදු තැනක එවැනි කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවත්ය. ඒ සමග පළ වූ ඡායාරූපයෙහි දැක්වෙන්නේද ඉතාලි අග්‍රාමාත්‍ය ගුසේප් කොන්තේ නොව, එරට ජනාධිපති සර්ගියෝ මැටරෙල්ලා  බවද හෙළි විය.

කොරෝනා වෛරය ලොව පුරා පැතිරීමත් සමග අද වන විට ලොව පුරා විවිධ පිරිස් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන්, අත් අඩංගුවටද පත් ව සිටිති. ශ්‍රී ලංකාවේද මේ වන විට කෝවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළැයි සඳහන් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව සිටිති.

කෝවිඩ් 19 සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ගන්නා තීරණ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ සාවද්‍ය තොරතුරු පැතිර යාම ආරම්භ වීමත් සමග, එවැනි තීරණ සම්බන්ධයෙන් නිල නිවේදන ජනාධිපති කාර්යාලය මගින් හා සමාජ මාධ්‍යවල නිල පිටු මගින් පමණක් දැනුම් දෙන බවට නිවේදනය කිරීමට ජනාධිපතිවරයාටද සිදු විණි.

“ලෝකයේ මිනිසුන් මිලියන ගණනක් එකම කාරණයක් සම්බන්ධයෙන් තොරතුරු සෙවීමටත් තොරතුරු ප්‍රචාරය කිරීමටත් පෙළඹුණු මුල්ම අවස්ථාව මෙයයි. ඒ නිසාම අද වන විට, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් විශ්වසනීය තොරතුරු සමාජ මාධ්‍ය මගින් සොයා ගැනීම අසීරුයි” සමාජ මාධ්‍ය සම්බන්ධ ප්‍රකට විශ්ලේෂකයකු වන ඩෙනිස් උනායි සඳහන් කර තිබේ.

තොරතුරු මූලාශ්‍ර මගින් නිසි ලෙස තහවුරු නොවූ සමාජ මාධ්‍යයන්හි පළ වන ඇතැම් තොරතුරු ලොව පුරා මිනිසුන් හට ශාරීරිකව හෝ මානසිකව සෘණාත්මක බලපෑම් ඇති කරන බවද, ඔවුන්ගේ දින චර්යාවන් මෙන්ම හැසිරීම් කෙරෙහිද ඒවා මගින් බලපෑම් කළ හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මිනිසුන් කම්පාවට හා භීතියට පත් කරවනසුලු අසත්‍ය තොරතුරු දිගින් දිගටම ඇසුරු කරන පුද්ගලයින් විශාදය වැනි මනෝභාවයන්ට ගොදුරු වීමේ අවදානමක් ඇතැයි මනෝ වෛද්‍ය විශේෂඥවරුද පෙන්වා දෙති.

ඒ හැරුණු කොට, නිරන්තරයෙන් යාවත් කාලීන වන වෛද්‍ය විද්‍යාව හා රෝග සම්බන්ධ කාරණා අදාළ නිල වෙබ් අඩවි මගින් ජනතාව වෙත දැනුම් දෙමින් තිබියදී, සමාජ මාධ්‍ය මගින් යල් පැන ගිය තොරතුරු නැවත නැවත සංසරණය වීම හේතුවෙන් විශ්වාසනීය නවතම තොරතුරු දැන ගැනීමට ඇති අවස්ථාවද මිනිසුන් වෙතින් ගිලිහී යයි. කොහෙන් හෝ ලැබෙන තොරතුරක් මත පමණක් යැපෙන සමාජ මාධ්‍ය හෝ වගකීම් විරහිතව කටයුතු කරන ඇතැම් වෙබ් අඩවි එම තොරතුර ප්‍රචාරය කිරීමට පෙර හෝ පසු ඒ පිළිබඳ විපරමක් සිදු නොකරන අතර, විශ්වාසදායී නිල තොරතුරු මූලාශ්‍ර, තමන් පළ කරන ප්‍රවෘත්තිය පිළිබඳ විමසිල්ලෙන් සිට ඒ සම්බන්ධ යාවත්කාලීන වන තොරතුරු ද නිරන්තරයෙන් ඉදිරිපත් කරයි.

මේ වන විට කොරෝනා වෛරසය සම්බන්ධ නවතම තොරතුරු දැන ගැනීම සඳහා විශ්වාසදායී තොරතුරු මූලාශ්‍ර ගණනාවක් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වෙබ් අඩවිය කෝවිඩ් 19 සම්බන්ධ තොරතුරු ගණනාවක් එකට ගොනු කරන ලොව වැඩි පිරිසක් භාවිතා කරන වෙබ් අඩවියයි. ලොව රටවල් ගණනාවක වසංගත ව්‍යාප්තිය පිළිබඳව, වෛරසයේ ස්වභාවය, වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා උපදෙස් ආදිය ඇතුළත් ව තහවුරු කළ නිල තොරතුරු ගණනාවක් එමගින් දිනෙන් දින ප්‍රකාශයට පත් කෙරෙයි. එපමණක් නොව,‍ වෛරසය හේතුවෙන් ලොව රටවල්වල ආසාදිත සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව පිළිබඳව රජයන් විසින් නිකුත් කරන නිල සංඛ්‍යාලේඛන මගින් එය යාවත්කාලීන වෙයි.

ඒ හැරුණු විට වසංගත තත්ත්වය පිළිබඳ විශ්වාසනීය තොරතුරු දැන ගැනීම සඳහා ලොව පිළිගත්, ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය වැඩි වශයෙන් පරිහරණය කිරීම මගින් සමාජ ජාලවල පළ වන අසත්‍ය තොරතුරුවලින් මුළා වීම වළක්වා ගත හැකිය.

එමෙන්ම වෛරස පිළිබඳ නිරන්තරයෙන් පර්යේෂණ කරන ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය, හොංකොං විශ්ව විද්‍යාලය වැනි ලොව ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාලද ලොව ප්‍රකට පෙළේ විද්‍යායතන ද තහවුරු කර ගත් නිල තොරතුරු පමණක් ප්‍රසිද්ධියට පත් කරයි. ඒ හැරුණු විට, වෛරසය පිළිබඳ පර්යේෂණ සිදු කරන ලොව පිළිගත් විද්‍යඥයින් විසින් ප්‍රසිද්ධියට පත් කරන ලේඛන මගින්ද දැනුවත් විය හැකිය. පසුගිය කාලයේ පැතිර ගිය සාර්ස්, මර්ස් වැනි භයානක වසංගත සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කළ මහාචාර්ය මලික් පීරීස් වැන්නවුන් කොරෝනා වෛරසය සම්බන්ධයෙන්ද දිගින් දිගටම පර්යේෂණ සිදු කරන අතර, ඒ පර්යේෂණ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලොව ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය යාවත්කාලීන තොරතුරු ජනතාව වෙත ගෙන එයි. සමාජ මාධ්‍ය මගින් තොරතුරු සෙවීමට වැඩි කාලයක් ගත කිරීම මගින් එවැනි විශ්වසනීය තොරතුරු ජනතාව වෙතින් ගිලිහී යාම නිරන්තරයෙන් සිදු වේ.

සමාජ මාධ්‍ය මගින් පැතිර යන පුවත් වල සත්‍ය අසත්‍යතාව කුමක් දැයි තෝරා බේරා ගැනීමට ලොව ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය පරිශීලනය කරන අයකුට අසීරු කාරණයක් නොවේ. එසේ වුවත්, ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මගින්ද තහවුරු කර නොගත් තොරතුරු ප්‍රචාරය නොවන්නේ යැයි කිසිවකුට තර්ක කළ හැකි නොවේ.  

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් අද වන විට බොහෝ රටවල ප්‍රධාන පෙළේ දේශීය ජන මාධ්‍යයන්ට, සෑම අස්සක් මුල්ලක් නෑරම තොරතුරු මූලාශ්‍ර ඇසුරු කිරීමේ අසීරුතා පැන නැගී තිබේ. ඔවුන්ට තොරතුරු ලබා ගැනීම පිණිස නිල මූලාශ්‍ර එකක් දෙකක් මත පමණක් යැපීමට සිදුව තිබීම හේතුවෙන් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මගින්ද තහවුරු කර නොගත් තොරතුරු සමාජ ගත වීම හා එමගින් එක් පාර්ශවයකට අගතියක් සිදු වීම වැළැක්විය නොහැකි වී තිබේ.  

කෝවිඩ් 19 වෙරසය හේතුවෙන් මියගිය ශ්‍රී ලංකාවේ දෙවැනි පුද්ගලයා සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ ජන මාධ්‍යයන්හි පළ වූ තොරතුරුවලින් වැඩි හරිය අසත්‍ය ඒවා බවට ඔහුගේ ප්‍රත්‍රයා ඇතුළු ඥාතීහු මේ වන විට විවිධ වෙබ් අවඩි මගින් රටට හෙළි කරමින් සිටිති. මාධ්‍ය මගින් කියූ ආකාරයට සිය ඥාතියා විදෙස් සංචාරයක් සඳහා සහභාගි නොවූ බවත්, යාපනයේ සංචාරයක් පමණක් සිදු කර ඇති බවත් ඔවුහු සඳහන් කරති. එමෙන්ම ඔහුට කොරෝනා වැලඳී ඇතැයි මිය ගිය පසු මීගමුව මහ රෝහලෙන් දැන ගන්නා තෙක්ම පවුලේ අය හෝ මිය ගිය තැනැත්තා හෝ එවැන්නක් නොදැන සිටි බවද ඔවුහු සඳහන් කරති. ප්‍රධාන පෙළේ ජන මාධ්‍යය එකක වත් අගතියට පත් මෙම පාර්ශවයේ අදහස් දැක්වීමක් මෙතෙක් දක්නට නොවූ අතර මේ වන විටත් පුන පුනා සඳහන් වන්නේ, ඔහු විදේශයක සිට පැමිණ, තොරතුරු වසන් කර සිට රෝගය උත්සන්න වූ පසුව, මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි. මෙරට ප්‍රධාන ධාරාවේ ජන මාධ්‍ය සියල්ලම මිය ගිය තැනැත්තා පිළිබඳව මීගමුව මහ රෝහලෙන් හා පොලිසියෙන් පමණක් ලබා ගත් තොරතුරු පදනම් කර ගනිමින් සිද්ධිය වාර්තා කිරීමට පෙළඹීමෙන් ජන මාධ්‍යයට තොරතුරු ලබා ගත හැකිව තිබූ අනෙක් ප්‍රධාන පාර්ශවය මහහැර තිබේ. මෙවන් අවස්ථාවක සත්‍ය අසත්‍යතාව කුමක්ද යන්න හෝ විශ්වාසවන්ත තොරතුර කුමක්ද යන්න හරිහැටි දැන ගැනීමට මිනිසුන් හට අවකාශයක් නොමැත.

ඊයේ පෙරේදා ප්‍රධාන පෙළේ විද්‍යුත් මාධ්‍යයන්හි අවධානයට ලක් කෙරුණු තවත් ප්‍රවෘත්තියක් නම් අකුරැස්ස කෝප්- සිටි ආයතනය පාරිභෝගික සේවා අධිකාරිය විසින් වැටලීමේ සිද්ධියයි. කොරෝනා වසංගතය නිසා දෛනික ආදායම් තත්ත්වය අහිමි වූ මිනිසුන්ට සහනයක් වශයෙන් රජය මගින් සහන මිලකට සැමන් නිකුත් කර තිබූ අතර, ප්‍රවෘත්තියෙන් කියැවුණේ අකුරැස්ස කෝප්- සිටි ආයතනය එම සැමන් තොග සඟවා තිබූ බවයි. මෙම සිද්ධිය පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිද්ධියට අදාළව අගතියට පත් පාර්ශවය මේ වන විට දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා හට ලිපියක් යොමු කර තිබේ. 

අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතියට අයත් කෝප්-සිටි ආයතනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය යොදා ගනිමින් පාරිභෝගික අධිකාරිය විසින් අසත්‍ය ප්‍රචාරයක් සිදු කළ බව සඳහනක් කරමින් එහි සභාපති ඩබ්. ටී. කේ රාජපක්ෂ මහතා විසින් එම ලිපිය දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වෙත යොමු කරනු ලැබ  තිබේ. අකුරැස්ස කෝප්- සිටි ශාඛාවේ රාක්ක තුළ සහන මිලට අලෙවි කිරීමට සැමන් තිබියදී, ගබඩාවේ තිබූ සැමන් 300 ක් සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය මාධ්‍යයද සමග පැමිණ අසත්‍ය පුවතක් නිර්මාණය කළ බව, ඔහු එම ලිපියෙන් දන්වා සිටියි. බොහෝ අවස්ථාවන්හි ජනමාධ්‍ය විසින් මෙවැනි පුවතක් ප්‍රචාරය කිරීමෙන් අනතුරුව සිද්ධියට අදාළ පාර්ශවයේ අදහස් දැක්වීම් සඳහා එම මාධ්‍යය මගින් ඉඩක් ලබා නොදෙන අවස්ථා අද වන විට ඉතාමත් බහුල වී තිබේ. මෙම ප්‍රචාරය වූ පුවතෙහි සත්‍ය අසත්‍යතාව දැන ගැනීමට නම් ජනතාව ඒ පිළිබඳ අධිකරණ ක්‍රියා මාර්ගය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු වේ. එහෙත්, එකම සිද්ධියක් සම්බන්ධයෙන් මුල් පුවතට ලැබෙන ජනතා අවධානයේ තරමට ප්‍රමාණවත් අවධානයක් දෙවැනි ප්‍රවෘත්තියට නොලැබෙන බව ජන මාධ්‍ය විශාරදයින් පවා පෙන්වා දෙන කාරණයකි.

අද වන විට කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හෝ ලොව ඕනෑම සිද්ධියක් පිළිබඳ තොරතුරු සොයන මිනිසුන් එක් තොරතුරු මූලාශ්‍රයක් මත පමණක් යැපෙන අවස්ථාවන්හි  එම තොරතුරු මගින් මුළා වීම, වැළැක්විය නොහැකි කාරණයක් වී තිබේ. එමෙන්ම, එකවර එකම කරුණක් සම්බන්ධයෙන් ලොවම තොරතුරු සොයන හා ප්‍රචාරය කරන මෙවැනි අවස්ථාවක හිතාමතා පළ කරන අසත්‍ය තොරතුරු මෙන්ම, තහවුරු කර නොගත් මූලාශ්‍රද මිලියන ගණනින් සංසරණය වීමද වැළැක්විය නොහැකි වී තිබේ.

එනිසාම, තමන් එකවර කම්පාවට පත් කරන තොරතුරක් පිළිබඳව, තවත් මූලාශ්‍ර ගණනාවකින් තොරතුරු හඹා යාම මගින් පමණක් එබඳු මුළා වීම්වලින් වැළකී සිටිය හැකි වේ. වැදගත් වන්නේ සෑම පුවතක් දෙසම විමසුම් ඇස තබා ගැනීමය.

-උදානී-

What do you think?

Written by Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

GIPHY App Key not set. Please check settings

කොවිඩ් අවදානම කොළඹ සුපිරි හෝටල්වලටත්

COVID-19 කාලය තුළ මානසික සෞඛ්‍යය පවත්වා ගන්නේ කෙසේද?