අත්අකුරෙන් ජීවන රහස්

1 min read

  • කියවමු – ලොව දිනමු

අප අවට සමාජයේ විවිධ ආකාරයේ පුද්ගලයෝ වෙති. ඔවුන්ගේ ගතිගුණ හා ක්‍රියා කලාපයන් එකිනෙකාගෙන් එකිනෙකාට විවිධාකාර වෙයි. මේ අයුරින් වෙනස් වන ගතිගුණ හා ක්‍රියාකලාපයන් පිළිබඳ අපට දැනුමක් ලබාගත හැක්කේ ජන්ම පත්‍රය දේහ ලක්‍ෂණ විද්‍යාව මඟින් පමණක් නොවේ. යම් අයකු අත්අකුරු ලියන ආකාරය තුළින්ද ඔහුගේ හෝ ඇයගේ ගතිගුණ පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය. හස්ත රේඛා මෙන්ම අත්අකුරුද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. එක හා සමාන ලෙස අත්අකුරු බොහෝ විට දක්නට ලැබුණත් එසේ වන්නේ බාහිර පෙනුමෙන් පමණි. එවැනි දෙයක් පරීක්‍ෂා කිරීමේදී අකුරේ රේඛා විහිද යන ආකාරයෙන් අකුරු ලියන හැඩයෙන් කොම්බුව, ගැටය ආදිය ඉස්පිල්ල, පාපිල්ල අකුරට සම්බන්ධ කරන ස්ථානය හා ස්වරූපය, ලියන ශෛලියේ එකකට එකක් වෙනස්කම් තිබෙන බව පැහැදිලිය.

මේ වෙනස්කම ඇතිවන ක්‍රියාකාරිත්වය, ස්වභාවය තේරුම් ගැනීමෙන් අකුරු සමාන වුවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම්වල වෙනස්කම් ඇති බව හඳුනාගත හැකිය. ලිවීමට තෝරාගත් කඩදාසියේ දෙපස තීරු ඉහළ සිට පහළට සමාන්තරව මෙන් වෙන්කොට තිබේද, අකුරුවල ශෛලීය හා හැඩය පැහැදලි වේද, එය ආයාසයෙන් තොරව ලියන ලද්දේ වේද, එසේ නම් එම තැනැත්තා හෝ තැනැත්තිය ක්‍රමානුකූල හැඩගැස්මක් ඇති, මනාව තුලනය වූ මනසකින් යුක්ත අයකු බව නිගමනය කළ හැකිය. වම් පස තීරුව වඩා පළල්ව පවතී නම් බිය ප්‍රවේශම් නැති බව වැනි චරිත ලක්‍ෂණද, එය වඩා පටු නම් ලෝභකම, අරපිරිමැස්ම, විපරම් සහිත බව යනාදී ස්වභාවයන්ද පවතී. එමෙන්ම ඉහළ සිට පහළට ඇති දෙපස තීරුවල ඉහළත්, පහළත් අතර ඇති පරතරය බොහෝ සෙයින් අඩු හෝ වැඩි නම් හෝ ප්‍රශ්න හමුවේ නොබියව ඉදිරියට යන කෙනෙක්ද, පසුබාන කෙනෙක්ද යන්න නිගමනය කෙරේ. දකුණු පස තීරුව වඩා පළල්ව දැක්කේ නම් අනාගතය කෙරෙහි බියක් පවතින බව පැහැදිලි වෙයි.

ප්‍රමාණයට වඩා ලොකු අක්‍රමවත් අකුරු මානසික දුර්වලතාවකින් යුත් මනසක ලක්‍ෂණයකි. කුමන ආකාරයේ දුර්වලතාවක්ද යන්න නිගමනය කළ හැක්කේ අකුරුවල ස්වභාවය අනුවය. වචන එකට බැඳී පවතී නම් බොහෝ විට වංචාකාරී බව පෙන්නුම කිරීමකි. කෝණාකාර ලෙස අත් අකුරු ලියන්නේ හොඳ ආත්ම ශක්තියක් ඇති අයෙකි.
අවංක, ඍජු, වැරැදි නියම ආකාරයෙන් අවබෝධ කරගත් තැනැත්තා සිරස්ව තනි පේළියට අකුරු ලියාගෙන යයි. නමුත් ඔහු සිතුවිලිවලට තරමක් වහල්ය. තිරස්ව පේළියකට අකුරු ලියාගෙන යන විට යම් යම් අකුරු උඩ අතට ගමන් කරයි නම් එවැනි අය නිතරම අන් අය අතරින් කැපීපෙනීමට උත්සාහ දරන අය වෙති. එසේ අකුරු ලියාගෙන යන විට යම් යම් අකුරු පහළට ගමන් කරයි නම් එවැනි අය නිතරම රෝගපීඩාවලින් පෙළෙන, නිතරම යම් විශේෂ දෙයක් බලාපොරොත්තුව සිටින අයයි. එක් එක් අකුරුවල ප්‍රමාණ සහ හැඩය වෙනස් වෙයි නම් එවැනි අය ස්ථිරසාර ප්‍රතිපත්තියක් නැති අය බව තේරුම් ගන්න. හේ විටින් විට අදහස් හා ගතිගුණ වෙනස් කරන්නෙකි.

රවුම්, වටකුරු අත්අකුරු කරුණාවන්ත, අනුකම්පාසහගත අයකුගේ අතින් ලියැවෙයි. අසරණ අයට පිහිට වීම අන් අයගේ සිත් දිනාගෙන කටයුතු කිරීමට එවැන්නෝ ප්‍රියතාවයක් දක්වති.
ඉතා කුඩාම ප්‍රමාණයට අත්අකුරු ලියන්නා ලජ්ජාශීලී අයෙක් බව හෙළිකරයි. එම අකුරු පසුපසට ඇලවුණු ස්වභාවයක් ගනී නම් බොහෝ ලැජ්ජාශීලීය. සාමාන්‍ය ප්‍රමාණයට, කුඩාවට අත් අකුරු ලියන්නේ නිතර නිතර පර්යේෂණාත්මක සිතුවිලි පහළ වන පුද්ගලයෝය.

ලෝක ප්‍රකට නවකතාකරුවකු වූ එච්. ජී. වෙල්ස්ගේ අත්අකුරු කෙතරම් අවලක්‍ෂණද කිවහොත් එය කියවාගත හැකිවූයේ ඔහුටත්, ඔහුගේ ලිපිකරුටත් පමණි. එලෙසම ලොව ප්‍රකට තවත් ලේඛකයකු වූ විලියම් ෂේක්ස්පියර් අත් අකුරු අවලක්‍ෂණ කෙනකු ලෙස නම්දැරුවෙකි.
ශෝභමාන ක්‍රමවත් අත්අකුරු ලියන්නෝ දැඩි අධිෂ්ඨාන ශක්තියෙන් හා තිර හැසිරීමෙන් යුක්ත වූවෝ වෙති. කපටි, වංක පුද්ගලයන් ලියන අකුරු වම් අතට බර ගතියක් පෙන්නුම් කෙරෙන අතර, දකුණට බරව අකුරු ලියන තැනැත්තා පරිත්‍යාගශීලී, අනුකම්පාසහගතය.

ඉතා පිරිසුදුව, සාමාන්‍ය ප්‍රමාණයට ලියන අත් අකුරු උසස් ගතිගුණ ඇති පුද්ගලයන් අතින් ලියැවෙයි. දැඩි උත්සාහයෙන් විවිධ වෘත්තීන්හි නියැළී ලෞකික දියුණුව කෙරෙහි සිත යොමු කරන ස්ත්‍රීන්ගේ අත්අකුරු බොහෝ දුරට පිරිමි අකුරු හා සමාන ස්වරූපයක් පෙන්නුම් කරයි.

ප්‍රමාණයෙන් ලොකු අක්‍රමවත් අකුරු වයස අවු. 3-5 අතර ළමයින්ගේය. තද ගැඹුරු රේඛාවලින් යුක්ත නම් අඩු මානසික මට්ටමක් පෙන්නුම් කෙරේ. ලිවීමේදී ගන්නා කොම්බුව, ඇදය, ඉස්පිලි, පාපිලි යොදාගන්නා ආකාරය අනුව පුද්ගලයාගේ මානසික පීඩනයත් උද්ගත වෙයි. එසේම ලිවීමේදී භාවිත වන උපකරණවල අඩුපාඩු හා දුර්වලකම් කියාපායි. අකුරුවල ඇල කිරීමේ ස්වභාවය අනුව ඔහුගේ හෝ ඇයගේ විවෘත හෝ සංවෘතභාවය, සමාජය සමඟ හැසිරෙන ආකාරය අනාගතය හැඩගැසෙන ආකාරය, චිත්තවේග බලපවත්වන ආකාරය තේරුම්ගත හැකිය. ශාරීරික හා මානසික වර්ධනයක්ද, නිරවුල් බවක්ද ඇති අයගේ අකුරුවල වෙනස්කම් ඇතිවනුයේ ඉතා සෙමින්ය.
පියතිලකද අල්විස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © All rights reserved. | Newsphere by AF themes.