මුහුද පීරා සෙව්වත් කිසිදා හමු​නොවූ දිය කිඳුරියෝ

1 min read

දිගැති කෙස් කලබ කඩා දමා තම පිට ප්‍රදේශය වසාගත් සුන්දර යුවතියක් මුහුද අයිනේ ගල් පර්වතයක් මත වාඩිවී ඈත ක්ෂිතිජය දෙස බලා සිටින්නීය. පිටුපස හරවා සිටිය ද මේ යුවතියගේ සිරුරේ හැඩයෙන් වශීකෘත වන පිරිමියකු ඇය දෙසට සෙමෙන් සෙමෙන් සමීප වන්නේ ඇය හඳුනාගැනීම් අභිලාෂයෙනි. නමුත් මුහුදේ රළ බිඳෙන හඬ සමග මුසු වී ඇසෙන සියුම් ශබ්දයෙන් තිගැස්සී බලන මේ රුව ඉතා වේගයෙන් මුහුද දෙසට පැන ජලයේ ගිලී නොපෙනී යයි.   


මේ දසුනෙන් තම සිහි එළවාගත නොහැකි වන පෙර කී පුද්ගලයා තමන් දුටුවේ සිහිනයක් ද යන්න සිතා ගත නොහැකිව වික්ෂිප්තව සිටියි. ඔහු දැක ඇත්තේ තරුණ කාන්තාවකගේ උඩුකයක් සහ දැවැන්ත මත්ස්‍යයකුගේ යටිකයක් සහිත අපූරු රුවකි. මේ දිය කිඳුරියක විය යුතු යැයි ඔහු සිතයි. මෙය සැබෑවක් විය හැකි ද නැතිනම් සිහිනයක් ම පමණක් ද?   


කවදා හෝ තමන්ට දිය කිඳුරියක් හමුවනු ඇතැයි බොහෝ දෙනකු සිහින මවන්නට ඇත. ලොව පුරා සර්කස්කරුවෝ 19 වැනි හා 20 වැනි සියවසේ මුල් කාලයේ දිය කිඳුරියන් සොයා මහා මෙහෙයුම් දියත් කළහ. ලෝකය පුරා සෑම රටකම පාහේ ඔවුහු දිය කිඳුරියෝ සෙවූහ. නමුත් මෙතෙක් කිසිවකුට කිසිදු දිනක සැබැවින් දිය කිඳුරියක හමුවී නැත. විටින් විට දිය කිඳුරියන් දුටු බවටත්, ඔවුන්ගේ සිරුරු හමුවූ බවටත් විවිධ පුද්ගලයන් විසින් ගෙන ගිය ප්‍රචාරයන් හි කිසිදු සත්‍යතාවක් නොමැති බව ද පර්​ෙ‌ය්ෂකයෝ කියති.   


දිය කිඳුරියෝ මනඃකල්පිත ජීවියෙක් යැයි විද්වතුන්ගේ මතයයි. ඔවුන් පිළිබඳ විශ්වාසයන් හා ඔවුන් වටා ගෙතුනු කතා ලෝකයේ සෑම රටකම පාහේ දක්නට ලැබෙයි. ඇතැම් රටවල දිය කිඳුරියන්ගේ පිළිම පවා ඉදිකර තිබේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ දිය කිඳුරියන්ගේ පිළිම 16ක් ඇත.   


ලොව ඇති දියකිඳුරු ප්‍රතිමා අතරින් ඩෙන්මාර්කයේ කෝපන්හේගන් වරායේ ඉදිකර ඇති ප්‍රතිමාව කාගේත් දැඩි අවධානයට ලක්වූවකි. හෑන්ස් ඇන්ඩර්සන් ‍ලේඛකයාගේ කෘතියේ එන මේ චරිතය ඔහුගේ උපන්බිම වූ ඩෙන්මාර්කයේ ඉදිකර ඇතත් එහි සුන්දරත්වය නිසාම අද එහි අනුරූ ඇමෙරිකාවේ ස්ථාන හයක සාදා ඇත.   
මේ අතර පෝලන්තයේ අගනුවර වන වර්සෝහි ලාංඡනය වන්නේ ද දිය කිඳුරියකගේ රුවයි. එම නගරය දිය කිඳුරියක විසින් ආරක්ෂා කරන්නේ යැයි විශ්වාසයක් ඇති බැවින් ලාංඡනයේ හා නගරයේ ඉදිකර ඇති ප්‍රතිමාවේ ද සිටින දිය කිඳුරිය කඩුවක් අතින් ගෙන සිටින්නීය.   


දිය කිඳුරියන් පිළිබඳ මිනිසුන්ගේ අවධානය යොමුවූයේ අද ඊයේ නොවේ. ක්‍රිස්තු පූර්ව 1000 දී තරම් ඈත අතීතයේ දී දිය කිඳුරියන් ගැන සටහන් තිබේ. ක්‍රිස්තු පූර්ව 900-800ත් අතර කාලයේ විසූ බව කියන ග්‍රීක ජාතික කවියකු වූ හෝමර් තම ඔඩිසි නාට්‍යයෙහි දිය කිඳුරියන් ගැන සඳහන් කරයි. රට රටවල් සොයා දේශ ගවේෂණයේ යෙදුණු ක්‍රිස්ටෝපර් කොලොම්බස් ද තමන් හයිටි දූපත් අසල දී දිය කිඳුරියන් තිදෙනකු දුටු බව සටහන් තබා ඇත.   


කෙ‍සේ වෙතත් ඒ තරම් ඈත අතීතයේ සිට දිය කිඳුරියන් විස්තර කරන්නේ මහ මුහුදේ දී හමුවන සුන්දර කාන්තාවන් ලෙසිනි. උඩුකය නිරුවතින් සිටින තරුණියක වැනි ඔවුන්ගේ ඉනෙන් පහළ කොටස මාළුවකුගේ මෙනි. සිරුර සිහින්ව ගොස් දෙබෙදුමක් සහිත වරලකින් අවසන් වේ.   


ගල්පර මතට වී මිහිරි හඬින් ගී ගයන මේ දිය කිඳුරියන් නාවිකයන් වසඟයට ගෙන ඔවුන් විපතට පත්කරන බව ඇතැමෙකුගේ විශ්වාසයයි. ඒ නිසා මුහුදු ගමනක දී දිය කිඳුරියක් හමුවීම අසුබ පෙරනිමිත්තකැයි බොහෝ දෙනක් සිතූහ. ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් අතර ද දිය කිඳුරියන් පිළිබඳ කතා බොහොමයකි. ඔවුන් දිය කිඳුරියන් හඳුන්වන්නේ YawkYawk යන නාමයෙනි. මේ ආදිවාසීහු දිය කිඳුරියන්ට දේවත්වයෙන් සලකති. ඔවුන්ට අනුව දිය කිඳුරියෝ මැවුම්කරුවාණන්ගේ දියණියෝය. ඔවුන් කෝපයට පත්වුවහොත් ගංවතුර, සුළි සුළං වැනි විපත් ඇති කරවන බව ද ආදිවාසීන්ගේ විශ්වාසයයි.   


20 වැනි සියවසේ දී දිය කිඳුරියන් ලෝකය පුරාම ජනප්‍රිය වූයේ හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් විසින් රචනා කළ “පුංචි දියකිඳුරිය”‍ නම් සුරංගනා කතාව හේතුවෙනි.   


දිය කිඳුරියන් බිහිවූයේ ක්‍රිස්තු පූර්ව 1000 දී පමණ ඇසිරියාවේ රැජිනක වූ සර්මිරාමිස්ගේ මව වූ ආටාගේටිස් දෙවඟනගෙන් යැයි ජනප්‍රවාදයක් පවතී. ආටාගේටිස් අතින් ඇගේ ආදරවන්තයකු වූ ගොපල්ලෙකු වැරදීමකින් මියගිය බවත් ඉන් ලැජ්ජාවට පත්වූ දෙවඟන විලකට පැන මත්ස්‍යයකුගේ වෙස් ගැනීමට තැත් කළ ද තම සුන්දරත්වය සඟවා ගැනීමට නොහැකි වූ ඇය දිය කිඳුරියක වූ බවත් එම ජනප්‍රවාදයේ කියැවේ. 


ග්‍රීක ජාතිකයන් විශ්වාස කළේ මහා ඇකේසැන්ඩර් අධිරාජ්‍යයාගේ සොයුරිය තෙසලෝනිකා මියගිය පසු දිය කිඳුරියක වී ඊජියන් මුහුදේ වාසය කරන බවයි. එම මුහුදේ ගමන්ගන්නා නැව් නතර කරන ඇය එහි සිටින නාවිකයන්ගෙන් ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ සුවදුක් විචාරන බවත් එවිට ඔහු සුවයෙන් සිටිමින් ලෝකයම පාලනය කරන බව කීවොත් නිරුපද්‍රිතව ඊජියන් මුහුද තරණය කරන්නට අවස්ථාව ලබාදෙන බවත් ඇලෙක්සැන්ඩර් අධිරාජයා මියගොස් ඇතැයි කීවොත් ප්‍රකෝපයට පත්ව දරුණු කුණාටු ඇතිකර නාවිකයන් විනාශ කර දමන බවත් ග්‍රීක ජාතිකයෝ විශ්වාස කළහ. 

ටිෆ්නි යෝර්ක් මියයාමට පෙර ගත් ඡායාරූපයක්


වේල්සයේ හා ස්කොට්ලන්තයේ ජනතාව ද දිය කිඳුරියෝ ගැන බලවත් සේ විශ්වාස කළහ. ඔවුන්ගේ මතය වූයේ දිය කිඳුරියන් ජලයෙන් ගොඩට පැමිණ මිනිසුන් හා විවාහ වන බවයි. දිය කිඳුරියන්ගේ මත්ස්‍යයකු ආකාර කොටස විවාහයෙන් පසු අතුරුදන්ව සම්පූර්ණ ගැහැනියක බවට පත්වන බව ද එම රටවල ඇති විශ්වාසයකි.   


අරාබි නිසොල්ලාසයේ කතාවල ද අතිශය සුන්දර අර්ධ මත්ස්‍ය ආකාරයක් ගන්නා අතිශය සුන්දර යුවතියන් ගැන සඳහන් වේ.   


දිය කිඳුරියන් ගැන කොතරම් සාහිත්‍ය කෘති නිර්මාණය වී ඇතත් දියකිඳුරන් ගැන සඳහන් නොවීම විශේෂත්වයකි. එසේ වුව ද මුහුදට අධිපති ට්‍රයිටන් නම් ග්‍රීක දෙවියන් නිරූපණය කරන සෑම අවස්ථාක දී ම අලංකාර මත්ස්‍ය වලිගයක් සහ වරල් සහිත සිරුරක් ද පිරිපුන් ශක්තිමත් මිනිස් උඩුකයක් ද සහිතව සිතුවම් කිරීම විශේෂත්වයකි. පුරාණ දේවකතාවල දැක්වෙන ට්‍රයිටන් දියකිඳුරකු ලෙස නිරූපණය කිරීම විශේෂත්වයකි.   


අයර්ලන්ත ජනතාව අතර දියකිඳුරන් ගැන විශ්වාසයක් පවතී. ඔවුන්ගේ ජන සාහිත්‍යයේ දැක්වෙන්නේ කොළ පැහැති හිසකෙස් සහ රළු සමක් ද රතු නාසයක් ද සහිත අප්‍රසන්න ස්වරූපයක් ගන්නා දියකිඳුරන් නිරන්තරවම මුහුදේ කුණාටු ඇතිකර නාවිකයන් විනාශ කර දමන බවයි.   


මේ සියලු‍ කතාන්තර ජන සාහිත්‍යයට, මිත්‍යා කතාවලට හා දේව විශ්වාසයන්ට අනුව සැකසී ඇති අතර වර්ෂ 1600 දී ඕලන්දයේ ජල මාර්ග‍යකින් දිය කිඳුරියක් පැමිණි බවත් ඇය තුවාල ලබා සිටි බැවින් මිනිසුන් විසින් සුව කිරීමෙන් පසු දිගටම ඕලන්දයේ වාසය කළ බවටත් එරට ඉතිහාසයේ සඳහන් වේ. එසේම වර්ෂ 1614 දී කපිතාන් ජෝන් ස්මිත් වාර්තා කර ඇත්තේ කැනඩාවේ නිව්ෆවුන්ලන්තයේ වෙරළ තීරයේ දී කොළ පැහැති හිසකෙස් සහිත අත්‍යාලංකාර දිය කිඳුරියක දුටු බවයි.   


දිය කිඳුරියන් පිළිබඳ සංකල්පයත්, කතාන්තරත් මිත්‍යාවක් යැයි ලෝකයම පිළිගත්ත ද දිය කිඳුරියන් වැනි මිනිස් දැරියන් වරින් වර ලෝකයේ උපත ලබා තිබේ.   


මේ මිනිස් දැරියන්ගේ සිරුරේ උඩු කොටස මිනිස් දැරියකගේ ලෙසත් ඉනෙන් පහළ කොටස් මත්ස්‍යයකුගේ ලෙසත් වැඩෙමින් කිඳුරියකගේ ස්වරූපය ගෙන දෙන්නේ වර්ධන ඌනතාවක් හේතුවෙනි. කලාතුරකින් ලෝකයේ දක්නට ලැබෙන මෙම තත්ත්වය “සයිරෙනොමිලියා sirenomelia හෙවත් “දියකිඳුරු සහ ලක්ෂණය”‍ Mermaid Syndrome ලෙස වෛද්‍ය විද්‍යාවේ හඳුන්වයි.   


මේ තත්ත්වය ඇතිවන්නේ කලල කාලයේ දී වර්ධනයේ සිදුවන අඩුවක් හේතුවෙනි. එවැනි දරුවන්ගේ සිරුරේ වකුගඩු, මුත්‍රාශය, මුත්‍ර මාර්ගය, ගුදමාර්ගය, ලිංගික අවයව ආදිය වර්ධන නොවන අවස්ථා ද තිබේ. ඇතැම් විට පෙනහලු හා හෘදය වැනි ඉන්ද්‍රියයන්ගේ ද ව්‍යාකූලතා ඇතිවේ. වෛද්‍යවරු පවසන්නේ එවැනි දරුවන් උපත ලබන්නේ සාමාන්‍ය දරු උපත් ලක්ෂයකට එක් උපතක් වැනි අනුපාතයකින් බවයි. ශ්‍රී ලංකාවේ ද මෙවැනි දරු උපත් සිදුවූ බවට වාර්තා ඇතත් එවැනි දරුවන් උපතින් පසු ජීවත් වී නැත.   

මිල්‍ග්‍රොස් කෙරේන් කුඩා කාලයේ දිස්වූ අයුරු   

මෙලෙස උපත ලබා වැඩිම කාලයක් ජීවත් වූ දැරිය ලෙස පිළිගැනෙන්නේ 1988 මැයි 07 වැනි දා ඇමෙරිකාවේ දී උපන් ටිෆනි යෝර්ක් නමැති දැරියයි. උපතේදී ඇගේ පාද යාවී තිබුණ ද අනෙකුත් ඉන්ද්‍රියයන් හොඳින් වැඩී තිබිණි. එබැවින් ශල්‍යකර්මයකින් දෙපා වෙන්කරන ලදී. ඇවිදීමේ දුර්වලතා ඇතත් ඇය හොඳින් ජීවත්ව සිටිය ද වසර 27කට පසු 2016 පෙබරවාරි 24 වැනි දා මියගියාය.   


පේරු රාජ්‍යයේ දී 2004 වර්ෂයේ උපත ලද මිලාග්‍රොස් සෙරොන් ද උපතේ දී දිස්වූයේ දිය කිඳුරියක මෙනි. ඇගේ පාද උකුළු ප්‍රදේශයේ සිට පත්ල දක්වාම එකට යාවී තිබිණි. වකුගඩු ඉතා දුර්වලව තිබූ අතර මුත්‍ර මාර්ගය, ගුද මාර්ගය හා යෝනි මාර්ගය පිටතට විවෘත වූයේ එකම විවරයකිනි. මේ දැරිය ජීවත්කරවීමේ අභියෝගය භාරගත් වෛද්‍යවරු අසීරු සැත්කම් කිහිපයකින් පසු ඇය සාමාන්‍ය ජීවිතයක් ගතකළ හැකි තැනැත්තියක් බවට පත්කළහ.   


1999 අගෝස්තු 04 වැනි දා ඇමෙරිකාවේ උපත ලැබූ ෂයිලෝ පෙපින් ද දෙපා සම්පූර්ණයෙන් ම යාවී දිය කිඳුරියක මෙන් උපත ලැබූ දැරියකි. ඇයගේ පාදවල අස්ථි පවා නිසි පරිදි වැඩී තිබුණේ නැත. ගුද මාර්ගය, යෝනි මාර්ගය හා මුත්‍ර මාර්ගය පවා තිබුණේ නැත. නමුත් සැත්කම් ගණනාවකින් පසු මේ දැරිය වසර 10ක් ජීවත්ව 2009 දී මියගියාය. ඇගේ මරණයට හේතුවී තිබුණේ පෙණහලු ආබාධයකි.   


වෛද්‍යවරුන් පවසන්නේ අතීතයේ දී ද මෙවැනි දැරියන් උපත ලබා ජීවත්වන්නට ඇති බවයි. එවැනි දැරියන් නිසාම ඇතැම් විට දිය කිඳුරිය පිළිබඳ සංකල්පය බිහිවන්නට ඇති බව ද ඇතැමෙකුට තර්ක කිරීමට හැකියාව ඇත.   


දිය කිඳුරියන් සත්‍යවශයෙන් ලොව වාසය කරන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැත.   
දිය කිඳුරිය යනු සුන්දරත්වයේ සංකේතයක් යැයි බොහෝ දෙනකු සිතුව ද ඔවුන් අවාසනාව හා මරණය රැගෙන එන බව බොහෝ ජනකතාවල දැක්වේ. මුහුදේ ගමන් කරන නාවිකයන් ඉදි‍රියේ පෙනී සිට ඒ නාවිකයන් වෙනුවෙන් ගී ගයා ඔවුන් වසඟයට ගන්නා දිය කිඳුරියන් මේ නෞකා ගල් පර්වත බහුල ප්‍රදේශ කරා ගෙනයාමට පොලඹවමින් එම නැව් විනාශකර දැමීමට කටයුතු කරන බව නාවිකයන් අතර ඇති පිළිගැනීමයි.   


එබැවින් නාවිකයන් දියකිඳුරියන් දැක්මට කැමැත්තක් දක්වන්නේ නැත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Copyright © All rights reserved. | Newsphere by AF themes.